2026-09-04 16:51:00 Hours

නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීම මෙට්‍රෝ බස් සේවයේ අරමුණයි - ජනපති ලේකම්


...

නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීම මෙට්‍රෝ බස් සේවයේ මූලික අරමුණ බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් සමාගමේ තලංගම ඩිපෝව විවෘත කිරීමේ අවස්ථාවට අද (04) පෙරවරුවේ එක්වෙමින්.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තලංගම ඩිපෝව විවෘත කෙරුණා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ, මෙට්‍රෝ බස් සේවය හුදෙක් නව බස් රථ හඳුන්වාදීමකට සීමා නොවී, රට තුළ නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් බවයි.

ජනතාවට කාර්යක්ෂම, විධිමත් සහ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය පරිවර්තනයක් සිදු කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

"ඇත්තටම අපි මේ කරන්නේ අලුත් බස් ගෙනල්ලා හඳුන්වාදීමක් නෙමෙයි. ඊට එහා ගිය ලොකු සංකල්පයක් මේ තුළ තියෙනවා. ඒක තමයි නව පොදු ප්‍රවාහන සංස්කෘතියක් ඇති කිරීම. අපි හදන්නේ අලුත් සංස්කෘතියක්, ප්‍රවාහන සංස්කෘතියක් බිහි කරන්න. ඒ සංස්කෘතිය තුළ ඔබට සැප පහසු බස් තියෙනවා, ඒ සංස්කෘතිය තුළ ඔබ ගැන හිතන රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඉන්නවා, ඒ සංස්කෘතිය තුළ ඔබට මනුෂ්‍යයෝ කියලා සලකන රියදුරෙක් සහ කොන්දොස්තරවරයෙක් ඉන්නවා, ඒ සංස්කෘතිය තුළ යන්න ප්‍රියමනාප බස් එකක් තියෙනවා, ඒ සංස්කෘතිය තුළ ඔබේ ගමනේ ආරක්ෂාව ලැබෙනවා. ඉතිං අපි ඒ සංස්කෘතිය අපි හමාර කරන්නේ තනි පුද්ගලයෙක් එළවගෙන යන කාර් රථ දහස් ගාණක අයත් මේ පොදු ප්‍රවාහන සේවය භාවිතා කරමින් ඔවුන්ටත් පහසුවෙන් යන්න පුළුවන් පොදු ප්‍රවාහන සංස්කෘතියක් බිහි කිරීම තමයි අපේ අවසාන පරමාර්ථය. ඒක තමයි මේ සංස්කෘතියේ අවසානය."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk