2026-07-21 10:29:00 Hours

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ තීන්දුවට නීතිඥ සංගමයේ දැඩි විරෝධය


...

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ දැමීම සඳහා යෝජනා වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි විරෝධය පළකර තිබෙනවා.

එම සංගමයේ සභාපති රජීව් අමරසූරියගේ සහ ලේකම් නලින් ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව වාර්තා වනවා.

අදාළ ලිපියෙන් නීතිඥ සංගමය පවසන්නේ වත්මන් විනිසුරුවරයාගේ විශ්‍රාම වයස 1978 ව්‍යවස්ථාව ප්‍රකාශයට පත්කළ දින සිට කිසිඳු වෙනසකින් තොරව පවතින බවයි.

එම විධිවිධාන වෙනස් කිරීමට තරම් කිසිඳු සාධාරණීයකරණයක් හෝ ප්‍රබල ආයතනික අවශ්‍යතාවයක් මෙතෙක් ඉදිරිපත්ව නොමැති බව ඔවුන් පවසනවා.

නීතිඥ සංගමය ලිපියෙන් අවධාරණය කර ඇත්තේ ඉහළ අධිකරණවල වත්මන් විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම පමණක් අරමුණු කරගනිමින් මෙවැනි ව්‍යවස්ථාව සංශෝධන සිදු නොකළ යුතු බවත් එය අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට බරපතළ බලපෑමක් එල්ල කරන බවයි.

පසුගිය ජූලි 14 වනදා පැවැති කැබිනට් රැස්වීමෙන් පසුව මෙම යෝජනාව පිළිබඳව කැබිනට් මණ්ඩලය පත් කිරීමට පෙර කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇති බව නීතිඥ සංගමය පවසනවා.

එමෙන්ම, කිසිදු ඉදිරි පියවරක් ගැනීමට පෙර මෙම යෝජනාව පිළිබඳ පරිපූර්ණ අධ්‍යයනයක් සිදුකර විෂයබද්ධ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍යාංශය, අධිකරණය, නීතිඥ සංගමය සහ අනෙකුත් ප්‍රමුඛ පාර්ශ්වයන් නියෝජනය වන කමිටුවක් පත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් පුළුල් මහජන සාකච්ඡාවක් සහ ව්‍යුහගත උපදේශන ක්‍රියාවලියක් ද පැවැත්විය යුතු බව නීතිඥ සංගමය අවධාරණය කරන අතර, ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කඩිනමින් අවස්ථාවක් ලබා දෙන ලෙසද අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලාඉල්ලීමක් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk