2026-07-15 08:01:00 Hours

දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමග අද ජනතා අයිතියට


...

දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අද (15) සනිටුහන් කෙරුණා.

දශක හයකට ආසන්න කාලයක් සැලසුම් කර ක්‍රියාත්මක කළ මහවැලි මහ සැලැස්මේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝමීටර් 27.7ක් දිග වාරි උමගේ කැණීම් කටයුතු අද නිල වශයෙන් අවසන් කෙරුණේ, දෙපසින් කැණීම් ආරම්භ කළ උමං මාර්ග පොළොව යටදී එකිනෙක හමුවීමත් සමඟයි.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිකෙරෙන මෙම උමග දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමග ලෙස සැලකෙනවා.

නවීන Tunnel Boring Machine (TBM) යන්ත්‍ර දෙකක් භාවිත කර මහමීගස්වැව සහ කොදුරුවාව ප්‍රදේශවලින් එකවර ආරම්භ කළ කැණීම් කටයුතු සාර්ථකව සම්බන්ධ කිරීම ඉංජිනේරු ක්ෂේත්‍රයේ "Tunnel Breakthrough" ලෙස හැඳින්වෙන සුවිශේෂී අවස්ථාවක්.

කිලෝමීටර් 240කට ආසන්න දිගකින් යුත් උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය මඟින් මහා වාරි පද්ධති 12ක් සහ එල්ලංගා පද්ධති 130කට අයත් වැව් 1,505ක් පෝෂණය කිරීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය හරහා පවුල් 25,000කට සෘජු ප්‍රතිලාභ හිමිවන අතර, හෙක්ටයාර 74,000ක වගාබිම් සඳහා යල සහ මහ කන්න දෙකේදීම ජලය සැපයීමට හැකි වන බව සඳහන්.

එමෙන්ම රජරට ප්‍රදේශයේ ජනතාව දශක ගණනාවක් මුහුණ දී සිටින හඳුනා නොගත් වකුගඩු රෝගය අවම කිරීමේ අරමුණින් පිරිසිදු පානීය ජලය සැපයීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉලක්කයක් වනවා.

ඒ අනුව වසරකට ජල ඝන මීටර් මිලියන 70ක් මුදාහැරමින් මිලියන 1.5කට ආසන්න ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk