2026-07-20 20:11:00 Hours

පළාත් සභා මැතිවරණය නොපැවැත්වීමෙන් රුපියල් මිලියන 9,000ක් යළි භාණ්ඩාගාරයට


...

පසුගිය 2025 වර්ෂයේ පළාත් සභා මැතිවරණය සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත වෙන්කර තිබූ රුපියල් මිලියන 9,000ක මුදලක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත යළි හරවා යවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ 2025 වාර්ෂික කාර්යසාධන වාර්තාවෙන් අනාවරණය වී තිබෙනවා.

එම වාර්තාවට අනුව, පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම හේතුවෙන් මෙම මුදල නැවත භාණ්ඩාගාරය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2025 වර්ෂයේ වැය ඇස්තමේන්තුව මගින් මැතිවරණ කොමිෂන් සභාව සඳහා රුපියල් මිලියන 21,487ක ප්‍රතිපාදන වෙන්කර තිබූ අතර, ඉන් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ සඳහා පමණක් රුපියල් මිලියන 20,000ක් වෙන්කර තිබූ බවද එම වාර්තාවේ සඳහන්.

අදාළ වාර්තාවේ පෙන්වා දෙන්නේ ඒ අතරින් පළාත් සභා මැතිවරණය සඳහා වෙන්කර තිබූ රුපියල් මිලියන 9,000ක මුදල භාවිතයට නොගෙන ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත යළි හරවා යවා ඇති බවයි.

එමෙන්ම, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාන්‍ය කටයුතු සඳහා රුපියල් මිලියන 1,487ක ප්‍රතිපාදන වෙන්කර තිබූ අතර, ඉන් රුපියල් මිලියන 1,278ක් පුනරාවර්තන වියදම් සඳහාත් රුපියල් මිලියන 209ක් ප්‍රාග්ධන වියදම් සඳහාත් වෙන්කර තිබූ බවද වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk