2026-07-31 08:10:00 Hours

සංස්කෘතිය සහ උරුමයන් රැකගනිමින් රට සංවර්ධනය කළ යුතුයි - ජනපති


...

රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් නොවන අතර, සංස්කෘතිය සහ ඓතිහාසික උරුමයන් සමඟ බැඳුණු සංවර්ධනයක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපති කාර්යාලයේ පැවති බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ 2027 පූර්ව අයවැය සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ, ලොව දියුණු රටවල් බොහොමයක් තම සංස්කෘතික පදනම මත ගොඩනැගී ඇති බවයි.

එමෙන්ම ජාතීන් අතර සමගිය සහ සහජීවනය තහවුරු කිරීම සඳහා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළා.

ග්‍රාමීය ආගමික ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය, සියලු ආගම්වල දහම්පාසල් සංවර්ධනය, විනාශයට පත් ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සහ සූර්යබල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මතුව ඇති ඉඩම් ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීමට ද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

ජාතික කෞතුකාගාරය සහ ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කිරීම කඩිනම් කළ යුතු බවත්, නව තාක්ෂණය ඔස්සේ ඉතිහාසය ජනතාවට සජීවීව අත්විඳිය හැකි ආකාරයේ කෞතුකාගාර සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මීට අමතරව, මහාභාරකාර දෙපාර්තමේන්තුව සතු දේපොළ පාලනයේ පවතින අක්‍රමිකතා පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා, අදාළ නීති සංශෝධනය කර ජනතා දේපොළ ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා නව නීතිමය රාමුවක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk