2026-07-28 12:23:00 Hours
ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට පවතින විනිසුරු පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයා පියවර නොගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.
පෞද්ගලික රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ රජීව් අමරසූරිය මහතා සඳහන් කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ දැනට විනිසුරු පුරප්පාඩු අටක් පවතින බවයි.
ව්‍යවස්ථාවට අනුව එම තනතුරු සඳහා නම් යෝජනා කිරීම ජනාධිපතිවරයාගේ වගකීමක් වුවද මාස ගණනක් තිස්සේ එම පත් කිරීම මඟහැර සිටීම බරපතළ ගැටළුවක් බව ඔහු පෙන්වා දෙනවා.
එම සංගමයේ සභාපතිවරයා සඳහන් කරන්නේ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ සුදානමක් පිළිබඳව මීට සති කිහිපයකට පෙර තමන් කිසිවක් නොදන්නා බවත් නීතිඥ සංගමයේ අදහස් විමසීමක් පවා සිදු නොකර මෙලෙස කටයුතු කිරීම පිටුපස බරපතළ දුෂණයක් පවතින බවත්ය.
රජයට මෙවැනි සංශෝධනයක අවශ්‍යතාවක් ඇත්නම් ඒ සම්බන්ධව පළමුව විවෘතව සාකච්ඡා කළ යුතු බවද ඒ මහතා මෙහිදී පවසා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට සත්‍ය වශයෙන්ම උවමනාවක් ඇත්නම් ඊට පෙර සෘජුවම ජනමත විචාරණයකට ගොස් ජනතාවගෙන් අදහස් විමසිය යුතු බවයි.
"මොකක්ද මේ හදිස්සිය? මේක මේ මීටර් 100 රේස් එකක්නේ දුවන්නේ. එතකොට සති දෙක තුනකට ඉස්සෙල්ලා ආණ්ඩුවේ කවුරුත් කිව්වේ නෑනේ මේක කරනවා කියලා. හැමෝම කිව්වේ එහෙම කතාවක් තියෙනවා, ඇහිලා තියෙනවා, මං හිතන්නේ අධිකරණ ඇමතිතුමාත් එක වෙලාවක කිව්වා දන්නෑ කියලා. ඊට පස්සේ පස්සේ කිව්වා ඒ වගේ කතාවක් තියෙනවා කියලා. ඉතින් කොහෙන්ද මේක ආවේ.. මේක ඇත්තටම දූෂණයක්.
අපට වේකන්සීස් අටක් තියෙනවා මේ සුප්‍රීම් කෝර්ට් එකේ. ඒවා පුරවන්නේ නෑ. ඒක අපේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමා නමක් යවන්න ඕනේ. ඉතින් මාස ගාණක් පත් කරන්නේ නෑ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන වගන්තීන් හා සම්ප්‍රදායත් කඩ කිරීමක්. මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන්, ජනාධිපතිතුමාගෙන් මේ ගැන අයෙත් හිතලා බලන්න. මේක මේ වෙලාවේ අවශ්‍ය දෙයක් නෙවෙයි. වැඩි කරන්න ඕන නම් අපි සාකච්ඡා කරලා බලමු.
ජනමත විචාරණයකට තමයි යන්න වෙන්නේ. කෙලින්ම ජනමත විචාරණයකට ගිහිල්ලා ජනතාවගෙන් අහන්න. කවුරු මොකක් කිව්වත් අන්තිමටම බලය තියෙන්නේ ජනතාව අතේ... ඉතින් අපි ජනතාවගෙන් අහමු..''
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk