2026-07-13 07:40:00 Hours

මැදපෙරදිග නැවත ඇවිලෙයි - ඉරාන මිලිටරි සහ සිවිල් ඉලක්ක වෙත අමෙරිකාවෙන් ප්‍රහාර


...

ඉරානය සතු මිලිටරි සහ සිවිල් ඉලක්ක වෙත අමෙරිකානු ආරක්ෂක බලකායන් විසින් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ දෙරට අතර පැවැති තාවකාලික සටන් විරාමය බිඳ වැටී නැවත දැවැන්ත යුද්ධයක් ආරම්භ වීමේ අවධානමක් මතු විය හැකි බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා ඇති කරගත් සටන් විරාම ගිවිසුම අවසන් බව ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම ගුවන් සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන ජාත්‍යන්තර වාණිජ නැව්වලට ඉරානය විසින් ප්‍රහාර එල්ල කළ බවට චෝදනා කරමින් අමෙරිකානු මධ්‍යම බලඇණිය විසින් මෙම ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති බව සඳහන්.

ඉරාන වෙරළ තීරයේ පිහිටි ගුවන් ආරක්ෂණ පද්ධති, මිසයිල ගබඩා සහ නාවික කඳවුරු ඇතුළු මිලිටරි ඉලක්ක 90කට අධික ගණනක් විනාශ කළ බවද අමෙරිකානු ආරක්ෂක අංශ පවසනවා.

මෙම ප්‍රහාර සම්බන්ධයෙන් ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ප්‍රහාර හුදු මිලිටරි ඉලක්කවලට පමණක් සීමා නොවූ බවයි.

බන්ඩර් අබ්බාස් (Bandar Abbas) වරාය නගරය සහ බුෂෙහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර කලාපය මෙන්ම සිවිල් ජනතාව ගැවසෙන ප්‍රදේශ සහ පාසල් ආශ්‍රිතව ද ප්‍රහාරයන් හි බලපෑම හේතුවෙන් දැවැන්ත පිපිරීම් සිදුව ඇති බව සඳහන්.

මෙම ප්‍රහාරයත් සමඟ ඉරානය ද නැවත බහරේනය සහ කුවේට් වැනි කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ මිත්‍ර රටවල් ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.

නැවත මැදපෙරදිග යුද උණුසුම ඉහළ යාම සමඟ ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිලද සීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් මතුව ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk