2026-07-17 15:02:00 Hours

ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට ගැනීම ගැන ක්‍රිකට් ආයතනයෙන් පැහැදිළි කිරීමක්


...

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (17) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බවට පළවන වාර්තාව සම්බන්ධව තම ආයතනයේ අවධානය යොමුව ඇති බවයි.

අදාළ සිදුවීමට ඉදිරියේ දී සිදු කෙරෙන ඕනෑම විමර්ශනයක් සඳහා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට ක්‍රිකට් ආයතනය සහ LPL සංවිධායක මණ්ඩලය සුදානම් බවද එම නිවේදනයේ සඳහන් වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ තරඟාවලියේ අඛණ්ඩතාව සහ ගෞරවය ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවයි.

මේ හේතුවෙන් තරඟාවලිය සම්බන්ධ කිසිඳු පාර්ශවයකින් සිදුවන දූෂණ, විෂමාචාර හෝ අනිසි ක්‍රියාවන් කිසිසේත්ම අනුමත නොකරන බවද ඔවුන් පෙන්වා දෙනවා.

එම ආයතනය සඳහන් කරන්නේ මෙම සිදුවීමෙන් LPL තරඟාවලියට කිසිඳු බාධාවක් සිදු නොවන බවයි.

මේ අනුව අද (17) රාත්‍රියේ කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත Galle Gallants - Jaffna Kings තරගය සැලසුම් කළ පරිදි පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලිය ඉහළම සදාචාරාත්මක සහ අඛණ්ඩතා ප්‍රමිතීන්ට අනුකූලව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී ඒකකය, ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය සමඟ අඛණ්ඩව සම්බන්ධීකරණයෙන් කටයුතු කරන බව ක්‍රිකට් ආයතනය පෙන්වා දී තිබෙනවා.

තවද දූෂණයෙන් තොර සහ වඩාත් විනිවිදභාවයෙන් යුතු තරගාවලියක් සහතික කිරීමේ අරමුණින් ස්වාධීන විශේෂඥ කණ්ඩායමක සහයද මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පුරා ලබාගැනීමට පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පැවසුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk