2026-07-17 17:16:00 Hours

සලේගේ පෙත්සමට පාර්ශව 8ක් ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම් ගැන ගත් තීන්දුව


...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන අතරමැදි පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි, අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව අටක් විසිනි.

අදාළ පෙත්සම් අද (17) කැඳවූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා පවසන්නේ පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා දේශනා අවසන් වීමෙන් පසුව මෙම අතරමැදි ඉල්ලීම් පිළිබඳව සලකා බලන බවයි.

මේ අනුව අතරමැදි පෙත්සම්කාර පාර්ශවයේ නිතිගන්වරුන්ගේ එකඟතාවය මත අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අගෝස්තු මස 4 සහ 6 යන දිනවල කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

මේ අතර පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම පිළිබඳව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පෙත්සම් සලකා බැලුවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේදීයි.

අද (17) දින පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා වැඩිදුර කරුණු ඉදිරිපත් කළා.

ඉන්පසුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන 21 වනදා දක්වා කල් තැබීමට අධිකරණය නියම කරනු ලැබුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk