2026-07-17 20:51 Hours

නියෝජ්‍ය අමාත්‍ය එරංග සහ මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු 6 දෙනෙකුට වරෙන්තු


...

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව අතිරේක මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චි මහතා අද (17) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

ඒ, අධිකරණ නියෝග කඩ කරමින් අයුතු ජනරාශියක සාමාජිකයන් ලෙස උද්ඝෝෂණයකට සහභාගි වූ බවට විභාග වන නඩුවකට අදාළව ඇප මත සිටියදී විවෘත අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ, රොෂාන් අලි දානිස් අලි, අමල් සාලින්ද නොහොත් ආමි අමිල, උදයංග කුමාර සහ කොස්වත්තේ මහානාම හිමියන්ටයි.

එමෙන්ම, ඇපකරුවන්ට නොතිසි නිකුත් කළ අධිකරණය අදාළ නඩුව ලබන දෙසැම්බර් 4 වැනිදා දක්වා කල් තැබීමටද නියෝග කළා.

අද පැවති නඩු විභාගයේදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, රුහුණු විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා, ජෙහාන් අප්පුහාමි සහ රත්කරව්වේ ජිනරතන හිමියන් ඇතුළු පිරිසක් අධිකරණයේ පෙනී සිටියා.

කොටුව පොලිසිය විසින් මෙම සැකකරුවන්ට එරෙහිව අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණ පැවැත්වීම සහ පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා යටතේ නඩු පවරා තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk