2026-07-20 09:41:00 Hours

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද


...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහයට අදාළ අවසන් කටයුතු අද (20) පස්වරුවේ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මෙරට 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා මියයන විට 63 හැවිරිදි වියේ පසුවුණා.

1986 වසරේ ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වූ ඔහු, 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටුවීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා.

ඉන් අනතුරුව 2020 නොවැම්බර් 27 වැනිදා ඔහු නිල වශයෙන් පොලිස්පති ධුරයට පත් කෙරුණු අතර, 2023 මාර්තු 25 වැනිදා විශ්‍රාම යාමට නියමිතව තිබුණද නව පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් සේවා දිගු හේතුවෙන් තවත් මාස 8කට ආසන්න කාලයක් එම ධුරයේ කටයුතු කළා.

ඔහු පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවේ 2023 නොවැම්බර් 23 වැනිදායි.

මේ අතර පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් සී.ඩී. වික්‍රමරත්න මහතා මියගොස් තිබූ අතර, එය සියදිවි හානි කර ගැනීමක් බවට සැක කෙරෙන බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ, ඔහු සිය ආරක්ෂක නිලධාරියාට අයත් ගිනි අවියක් භාවිත කර වෙඩි තබාගෙන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත්, නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

එමෙන්ම, සිද්ධියට අදාළ ගිනි අවිය ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති අතර, බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිසිය එක්ව වැඩිදුර විමර්ශන සිදු කරනවා.

විමර්ශනවලට අදාළව හිටපු පොලිස්පතිවරයාගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk