2026-07-17 08:56:00 Hours
විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්‍රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර එය 2027 අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (16) අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
එම උපදෙස් ලබාදී ඇත්තේ ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවේදීයි.
රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍රයක් වන විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විධිමත් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ පරිපාලනමය බාධක කඩිනමින් නිරාකරණය කරන ලෙසද ඔහු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
සංචාරක සංවර්ධන ව්‍යාපෘති දිස්ත්‍රික් මට්ටමින් කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා ඒවාට වෙන් කෙරෙන මුදල් ප්‍රතිපාදන සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මුදල් සංචිත වෙත යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම සීගිරිය, ගලේවෙල සහ ත්‍රිකුණාමලය කේන්ද්‍ර කරගනිමින් සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති, සංචාරක අමාත්‍යාංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව වාර්තා වනවා.
මීට අමතරව, කොන්සියුලර් සේවා තවදුරටත් ඩිජිටල්කරණය කිරීම, සංචාරක අමාත්‍යාංශය යටතේ පවතින සම්පත් හා ඉඩම් පිළිබඳ විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීම සහ 2030 වන විට සංචාරක ක්ෂේත්‍රයට අවශ්‍ය ලක්ෂ 8ක මානව සම්පත බිහිකිරීම සඳහා හෝටල් පාසල් පුහුණු වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk