2026-07-16 13:28:00 Hours

බන්ධනාගාර තදබදයට දිගුකාලීන විසඳුම් ගැන පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය


...

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය අවම කිරීම, පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බන්ධනාගාර ආශ්‍රිත ගැටලුවලට දිගුකාලීන විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දිකගේ සභාපතිත්වයෙන් පසුගියදා පැවති මෙම රැස්වීමේදී බන්ධනාගාරවල යටිතල පහසුකම් පුළුල් කිරීම, නව ගොඩනැගිලි ඉදිකිරීම, පවතින පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සහ පුරප්පාඩු පිරවීම පිළිබඳව අවධානය යොමුව ඇති බව සඳහන්.

තවද රැඳවියන් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බඳුන්වී තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින මානව සම්පත් හිඟය අවම කිරීම සඳහා නව බඳවා ගැනීම් සිදු කිරීම, සේවා අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි බඳවා ගැනීමේ ක්‍රමවේද සංශෝධනය කිරීම සහ නිලධාරීන්ගේ සේවා තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව ආංශික අධීක්ෂණ සභාවේ අවධානය යොමුව ඇත.

මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩුවලට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය අවම කිරීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව ඉහළ නැංවීම, නවීන තාක්ෂණික උපකරණ ලබාදීම සහ පරීක්ෂණ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධාරණය කර තිබෙනවා.

බන්ධනාගාර තදබදය පාලනය කිරීම හුදෙක් පරිපාලනමය ගැටලුවක් නොව ජාතික වැදගත්කමක් සහිත කරුණක් බව පෙන්වා දුන් කාරක සභාව, අධිකරණය, පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ අනෙකුත් අදාළ ආයතන අතර මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමේ වැදගත්කම ද අවධාරණය කර ඇති බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk