2026-07-15 19:10 Hours
මීගමුව මහ නගර සභාවේ නගරාධිපති නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා අද (15) සිය නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව නිල වශයෙන් ප්‍රකාශ කළා.
ඒ සම්බන්ධයෙන් අද (15) සවස මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, එය තම පෞද්ගලික තීරණයක් බවයි.
ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීමට පෙර නගරාධිපතිවරයා මීගමුව මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එම අවස්ථාවට ජාතික ජන බලවේගයේ මීගමුව ආසන සංවිධායක ජුඩ් ප්‍රනාන්දු මහතා ද එක්ව සිටියා.
ඉන් අනතුරුව නගරාධිපතිවරයා නාගරික කොමසාරිස් නුවණි සුදුසිංහ මහත්මිය, ආයතන හා අංශ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් හමුවී සුහද කතාබහක ද නිරත විය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රොබට් හීන්කෙන්ද මහතා පැවසුවේ, ජාතික ජන බලවේගයේ දේශපාලන අධිකාරිය තමන් නගරාධිපති ධුරයට පත් කළ ආකාරයටම ඉදිරියේදී මීගමුව සඳහා නව නගරාධිපතිවරයකු පත් කරනු ඇති බවයි.
තවද, තමන් නගරාධිපති ධුරය දැරූ මාස 13 හමාරක කාලය තුළ මීගමුව මහ නගර සභාව සහ පුරවරය වෙනුවෙන් ජනතා හිතවාදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත්, ධුරය භාරගත් අවස්ථාවේ පැවති තත්ත්වයට වඩා සැලකිය යුතු වෙනසක් ඇති කිරීමට සමත් වූ බවත් ඔහු සඳහන් කළා.
අනතුරුව නගරාධිපතිවරයා මීගමුව මහ නගර සභාව ඉදිරිපිටදී නාගරික කොමසාරිස්, නාගරික ඉංජිනේරු, නාගරික ලේකම් ඇතුළු නිලධාරීන් සහ සේවක පිරිස සමඟ සමූහ ඡායාරූපයකට ද එක්වුණා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk