2026-07-16 11:53:00 Hours

"දිට්වා" ආණ්ඩුවට බූමරංගයක් වෙයි - ආණ්ඩුවට එරෙහි FR පෙත්සම කැඳවීමට නියෝග


...

"දිට්වා" සුළි කුණාටුව හේතුවෙන් සිදුවූ හානි අවම කිරීම සඳහා රජය නිසි පූර්ව සැලසුම් ක්‍රියාත්මක නොකිරීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ඔක්තෝබර් 30 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම මහනුවර ප්‍රදේශයේ නීතිඥවරයෙකු විසින් ගොනු කර ඇති අතර, එය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා සහ අචල වෙන්ගප්පුලි හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ඔක්තෝබර් 30 වනදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළා.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරු සඳහන් කරන්නේ, "දිට්වා" සුළි කුණාටුවක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත්, ජනතාවගේ ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම සඳහා රජය නිසි පූර්ව සැලසුම් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ බවයි.

ඒ හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත්, ඉදිරියේදී මෙවැනි ස්වාභාවික ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා රජයට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම මඟින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk