2026-07-13 17:25:00 Hours

පිල්ලෙයාන් ලබන 24 වනදා දක්වා රිමාන්ඩ්


...

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළා.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ සැකකරු අද (13) දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණා.

එම නඩුව මහේස්ත්‍රාත් විනිසුරු ඒ. දර්ශිනි මහත්මිය ඉදිරියේ විභාගයට ගැණුනා.

2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මිනීමැරුම් 5ක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

අදාළ නඩුවේ තුන්වන සැකකරු ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නම් කර ඇති බව සඳහන්.

කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන පහකට අදාළව ගොනු කර ඇති චෝදනා තුනක් සහ තවත් එක් චෝදනාවක් මත අද (13) දින අධිකරණය විභාගය පැවැත්වුණා.

නඩු විභාගය සඳහා අද (13) සාක්ෂිකරුවන් අධිකරණයේ පෙනී සිටි අතර සැකකාර පිල්ලෙයාන් වෙනුවෙන් නීතිඥවරුන් දෙදෙනෙක් කරුණු දක්වනු ලැබුවා.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ 2008 වසරේ දී T 56 ගිනිඅවි යොදාගෙන සිදුකරන ලද ඝාතන කිහිපයක් පිළිබඳව අනාවරණය වූ තොරතුරු මත මෙම නඩු පවරා ඇති බවයි.

මේ අනුව සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පහත සිදුවීම්වලට සෘජුවම සම්බන්ධ සැකකරුවෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා.

2008 ජනවාරි 09- මඩකලපුව කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

2008 මැයි 22 - කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

2008 අගෝස්තු 20 - වවුනතීව්, කොතියපුල ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් විසින් රාත්‍රී කාලයේදී තවත් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම.

මේ අනුව සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියෝග කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk