2026-06-11 21:37:00 Hours

රනිල් යළි කරළියට


...

එක්සත් ජාතික පක්ෂයේ (එජාප) කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (11) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි පක්ෂ දේශපාලන කාර්යාලයේදී හිටපු ජනාධිපති සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් බහුතරයකගේ සහභාගීත්වයෙන් පැවති මෙම රැස්වීමේදී වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂයේ ප්‍රතිචාරය පිළිබඳව පුළුල් සාකච්ඡාවක් සිදුකර ඇති බව සඳහන්.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂය යළි සංවිධානාත්මකව ගොඩනැගීම සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී තිබෙනවා.

අනෙකුත් දේශපාලන පක්ෂ, බලවේග සහ සංවිධාන සමඟ ඉදිරියේදී සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමේ ආකාරය පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් දැනුවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත්තේ තනි තනිව කටයුතු කිරීම වෙනුවට සියලු බලවේග එක්ව ඉදිරි දේශපාලන අභියෝගවලට මුහුණදීමේ අවශ්‍යතාවයයි.

මේ අතර පක්ෂ විනය නීතිරීතිවලට පටහැනිව කටයුතු කළ පළාත් පාලන ආයතන නියෝජිතයින් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එජාප මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ, පක්ෂ සංවිධාන යළි ශක්තිමත් කිරීම සහ අනෙකුත් දේශපාලන බලවේග සමඟ සම්බන්ධීකරණය වර්ධනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තීරණ කිහිපයකට එළඹුණු බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk