2026-07-12 14:53:00 Hours

බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කරයි


...

බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ආනයනය තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළ නියෝගය මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කර ඇති බව සඳහන්.

මේ අනුව ජුලි මස 10 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මඟින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කැනීම් කරනු ලබන නිෂ්පාදනය කරනු ලබන හෝ නිමකරනු ලබන ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීම තහනම් වනු ඇති.

එම නියෝගයේ සඳහන් වන්නේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ තීරණ සැලකිල්ලට ගනිමින් මෙම රෙගුලාසි අදාළ වියයුතු භාණ්ඩ හෝ රටවල් අමාත්‍යවරයා විසින් කාලානුරූපීව නිවේදනය කරනු ඇති බවයි.

මේ අනුව රටකින් භාණ්ඩ ආනයනය කිරීමේදී බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මඟින් නිෂ්පාදනය කර හෝ නිමවා නොමැති බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වනවා.

බලහත්කාර ශ්‍රම භාවිතයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැලැක්වීම සදහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා අතිරේක ආනයන බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා යෝජනා කරනු ලැබුවා.

මෙහිදී ශ්‍රී ලංකාව සඳහා 12.5%ක අතිරේක බද්දක් පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර තිබුණා.

අමෙරිකාව පවසන්නේ ශ්‍රී ලංකාව බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීම සහ එම නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බැවින් මෙම අතිරේක බදු පැනවීම සිදුකරන බවයි.

කෙසේ වෙතත් රජය විසින් ප්‍රකාශයට පත්කර ඇති නව රෙගුලාසිවලට අනුව මින් ඉදිරියට බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මඟින් නිෂ්පාදනය කරනු ලබන හෝ නිම කරනු ලබන භාණ්ඩ මෙරටට ආනයනය කිරීම තහනම් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk