2026-05-29 18:01:00 Hours

බැසිල් තවත් නඩුවක සැකකරුවෙක් වෙයි


...

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිතා කළ බව පැවසෙන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ නීතිපති උපදෙස් මත පොදු දේපල පනත යටතේ සැකකරුවන් නම් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීමෙන් පසුවයි.

මෙම සිද්ධියට අදාළව හිටපු සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ සභාපති භාෂ්වර ගුණරත්න සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජව්ෆර් ඇතුළු පිරිසක්ද සැකකරුවන් ලෙස නම් කර තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් පදිංචි ස්ථාන වෙත ගිය ඔවුන් එම ස්ථානවල නොසිටි බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණය හමුවේ දැනුම් දී ඇති බව සඳහන්.

සැකකරුවන්ට විදෙස් ගමන් තහනමක් ද පනවන ලෙස ඉල්ලීම සලකා බැලු මහේස්ත්‍රාත්වරයා විදේශ ගමන් තහනම් කරමින් මේ බව ආගමන හා විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙසටද නියෝග කළා.

2014 වසරේ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් භාවිතා කර සංචාරක ප්‍රචාරක කටයුතු ලෙස පවසමින් එම එම ටී ෂර්ට් දොළොස් දාහක් මුද්‍රණය කර ඇත්තේ එම ටීෂර්ටයේ එක් පැත්තක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය සහ අනෙක් පැත්තේ දේශපාලන පක්ෂයක නම භාවිතා කරමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.

අදාළ ටීෂර්ට් තොගය මොනරාගල දිස්ත්‍රික්කයේ දේශපාලන වැඩසටහනකට බෙදා හැර ඇති බව පොලීසිය අධිකරණයට දන්වා සිටියා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk