2026-05-28 19:49:00 Hours

සූර්ය බලශක්තිය ගබඩා කිරීමේ නව බැටරි පද්ධති දිවයිනට


...

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙගාවොට් 160ක සමස්ථ ධාරිතාවයෙන් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතියේ පළමු අදියර යටතේ මෙගාවොට් 20ක ධාරිතාවයකට අදාළ උපාංග මෙරටට ආනයනය කර තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ වාණිජ මට්ටමින් ක්‍රියාත්මක කරනු ලබන පළමු බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතිය වන බවයි. මෙම ව්‍යාපෘතියේ සමස්ථ වටිනාකම රුපියල් බිලියන 40කි. පුනර්ජනනීය බලශක්තිය පදනම් කරගනිමින් වඩාත් ස්ථාවර, කාර්යක්ෂම සහ නවීන විදුලිබල පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් නව බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි පළමු අදියර යටතේ දිවයින පුරා පිහිටි ප්‍රධාන උපපොළවල් ආශ්‍රිතව මෙම බැටරි ගබඩා පද්ධති ස්ථාපනය කිරීමට නියමිතයි. ඒ අනුව ගාල්ල සහ මාතර උපපොළවල් මෙම ව්‍යාපෘතියේ ප්‍රථම සම්බන්ධක මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වනු ඇති. මෙම තාක්ෂණය මඟින් දිවා කාලයේදී සූර්ය බලශක්තියෙන් නිපදවන අතිරික්ත විදුලිය ගබඩා කර තබාගෙන, රාත්‍රී කාලයේ ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා යොදා ගැනීමට හැකියාව ලැබෙන බව ද සඳහන්. එමඟින් පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමත්, ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නැංවීමත් අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පෙන්වා දෙනවා. දැනට පවතින දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි උත්පාදනයෙන් සියයට 9.4ක පමණ ප්‍රමාණයක් සපයනු ලබන්නේ සූර්ය බලශක්ති පද්ධති මඟින් බවයි වාර්තා වන්නේ. මෙම බැටරි ගබඩා පද්ධති හඳුන්වාදීමත් සමඟ එම දායකත්වය තවදුරටත් ඉහළ යනු ඇති බවට නිලධාරීන් විශ්වාසය පළ කරනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, ව්‍යාපෘතියේ ඉතිරි මෙගාවොට් 140ක ධාරිතාවට අදාළ බැටරි පද්ධති උපාංග ඉදිරි සතිය ඇතුළත දිවයිනට ළඟා වීමට නියමිත බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk