2026-04-22 22:35:00 Hours

ක්‍රිකට්වලට අතුරු කමිටුවක් - එරාන් එක්ක හෂාන් සිදත් රොෂානුත් එයි


...

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ නව අතුරු පාලක කමිටුවේ සභාපති ධුරය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතාහට ලබා දීමට නියමිත බවයි.

එහි අනෙක් සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් වන සිදත් වෙත්තමුණි, හෂාන් තිලිකරත්න සහ රොෂාන් මහානාම යන මහත්වරුන් නම් කිරීමට මේ වන විට යෝජනා වී තිබෙනවා.

කෙසේ වෙතත් අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගියදා පැවැති විධායක කමිටු රැස්වීමේ දී වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා ධුරයෙන් ඉවත් වීමක් සම්බන්ධව සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

මේ වන විට ගල් අඟුරු වංචාව ඇතුළු සමාජයේ දැඩි කතා බහක් ඇතිව තිබෙන සිද්ධි ගණනාවක් හේතුවෙන් වත්මන් රජය ප්‍රශ්න රාශියකට මුහුණ දී ඇති පසුබිමක අහිමි වූ ජනතා විශ්වාසය නැවත ඇති කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාවිතා කිරීමේ සුදානමක් ඇති බවද වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි පෙන්වා දෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා අතර ඇති වන එකඟතාවක් මත මෙම ක්‍රිකට් පරිපාලන වෙනස සිදුවීමට නියමිත බවයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මෙම ක්‍රිකට් පරිපාලන වෙනස සඳහා ඉන්දියාව සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මුලික එකඟතාවක් ඇති තිබෙන බවද තොරතුරු වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට ඉල්ලා අස්වෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුම් දී ඇති බව Daliy Mirror පුවත්පත වාර්තා කරනවා.

අදාළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ මෙම තීන්දුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ විශාල වෙනසක් සිදුවනු ඇති බවයි.

ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ප්‍රතිසංස්කරණ සඳහා දිගු කාලයක් ඉල්ලා සිටි විචාරකයන් ඇතුළු විවිධ කණ්ඩායම්වලින් එල්ල වන පීඩනය වැඩි වීම සමඟ ශම්මි සිල්වා මහතා හැකි ඉක්මණින් ඉල්ලා අස්වෙන ලෙස දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධව ප්‍රසිද්ධියේ ප්‍රතිචාර දැක්වීමට පෙර ශම්මි සිල්වා මහතා තවත් සතියක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

ඒ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කළමනාකරණය සඳහා අතුරු කමිටුවක් පත් කෙරෙනු ඇති.

අදාළ කමිටුවට නායකත්වය දීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ හිටපු පාසල් ක්‍රීඩකයෙකු වන ඉරාන් වික්‍රමරත්න මහතා පත් කිරීමට නියමිතව බව වාර්තා වනවා.

වත්මන් සභාපති ශම්මි සිල්වා මහතා වසර 8කට ආසන්න කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරව සිටින අතර එම කාලය තුළ බොහෝ චෝදනාවලට මුහුණ දී තිබෙනවා.

ඥාති සංග්‍රහය, මුල්‍ය අක්‍රමිකතා සහ ආයතනය තුළ බලය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධව විචාරකයින් සිය කනස්සල්ල පළ කර ඇති බව සඳහන්.

විගණකාධිපති වාර්තාව සහ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවුරු කේ ටී චිත්‍රසේන මහතාගේ වාර්තාවෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන වෙනස්කම් සිදුකළ යුතු බව රජයට දැනුම් දී තිබෙනවා.

ආරංචි මාර්ග පවසන්නේ රජය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

මෙම පියවර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනයේ විනිවිදභාවය සහ වගවීම වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk