2026-05-23 11:04 Hours

මැයි 15ට පෙර විවෘත කළ LC වලටත් 50% අධිභාරය - රේගුවෙන් පැහැදිලි කිරීමක්


...

වාහන සඳහා රේගු ආනයන බද්ද මැයි 16 වනදා සිට සියයට 50කින් ඉහළ නැංවීමත් සමඟ ඊට පෙර දින වන මැයි 15 දා වාහන 1782ක් ආනයනය කිරීම සඳහා ණයවර ලිපි (LC) විවෘත කර තිබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් දැඩි දේශපාලන විවාදයක් මතුව තිබෙනවා.

විපක්ෂයේ දේශපාලනඥයින් චෝදනා කළේ අභ්‍යන්තර තොරතුරු කාන්දුවීමක් හේතුවෙන් ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක් මෙලෙස විශාල වාහන ප්‍රමාණයක් සඳහා කලින්ම ණයවර ලිපි විවෘත කර ඇති බවත්, ඒ හරහා ඔවුන් අයුතු ලාභයක් ලබාගැනීමට සැලසුම් කර ඇති බවත්ය.

කෙසේවෙතත්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයට පසුව එක් කළ අතිරේක ඡේදයක් හරහා මෙම ගැටලුවට නව පැහැදිලි කිරීමක් ලබාදී තිබෙනවා.

එම අතිරේක ප්‍රකාශය අනුව, මැයි 15 වනදා හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර තිබුණද, එහි සඳහන් වාහන සංඛ්‍යාව, වාහන හඳුනාගැනීමේ අංක (VIN), වාහනයේ විස්තරය හෝ තාක්ෂණික පිරිවිතරයන් යන කරුණු අතරින් එකක් හෝ පසුව සංශෝධනය කරන්නේ නම්, එම වාහන සඳහාද නව 50% අධිභාරය අය කළ යුතු බව සඳහන්.

රේගු ආරංචිමාර්ග පෙන්වා දෙන්නේ තොග වශයෙන් වාහන ආනයනය කරන සමාගම් බොහෝවිට ණයවර ලිපි විවෘත කරන්නේ එංජින් අංක හෝ චැසි අංක ඇතුළත් කරමින් නොවන බවයි.

ඒවායේ නිශ්චිත තොරතුරු වාහන නිෂ්පාදකයින්ගෙන් ලැබෙන්නේ පසුව වන අතර, එම තොරතුරු ඇතුළත් කිරීමෙන් පසුව පමණක් ණයවර ලිපි සම්පූර්ණයෙන් බලාත්මක වන බවද සඳහන්.

ඒ අනුව, මැයි 15 දා හෝ ඊට පෙර තොග වශයෙන් වාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කළ සමාගම් බහුතරයක්ද නව බදු අධිභාරයට යටත් වනු ඇති බව රේගු ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා.

...


පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk