2026-06-12 10:19:00 Hours
ලොව පුරා උෂ්ණත්වය ඉහළ නැංවීමට සහ දරුණු මට්ටමේ කාලගුණික තත්ත්වයක් ඇති කිරීමට බලපාන ප්‍රධාන ස්වභාවික සංසිද්ධියක් වන එල් නිනෝ තත්ත්වයක් මේ වන විට නිල වශයෙන් ආරම්භ වී තිබෙනවා.
අමෙරිකාවේ ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර සමකාසන්න පැසිෆික් සාගර කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 0.5කින් ඉහළ ගොස් ඇති බවයි.
එය එල් නිනෝ තත්ත්වයක් ලෙස සැලකීමට අවශ්‍ය සීමාව ඉක්මවා ඇති බවද එම ආයතනය පෙන්වා දෙනවා.
කාලගුණ විද්‍යාඥයින් සඳහන් කරන්නේ මෙවර එල් නිනෝ තත්ත්වය ඉතා දරුණු එල් නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බවයි.
මෙය ඉතිහාසයේ වාර්තා වූ ප්‍රබලතම එල් නිනෝ සංසිද්ධීන් අතරට එක්විය හැකි බවද ඔවුන් අනතුරු අඟවනවා.
විද්‍යාඥයෝ පවසන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දශක ගණනාවක් තිස්සේ සිදුවන ගෝලීය උණුසුම් වීමට අමතරව මෙම තත්ත්වය ද එකතු වීම නිසා ඉදිරි වසරක කාලය වාර්තාගත ලෙස උණුසුම් අධික වසරක් බවට පත්විය හැකි බවයි.
මෙම තත්ත්වයත් සමඟ ලොව පුරා කාලගුණික රටාවන්හි සැලකිය යුතු වෙනස්කම් ඇතිවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවනවා. ඒ අනුව නියඟ, අධික වර්ෂාපතනය, ගංවතුර, උෂ්ණත්ව තරංග සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට බලපාන අයහපත් තත්ත්වයන් ඉහළ යාමේ අවදානමක් පවතින බව සඳහන්.
එමෙන්ම, සමකාසන්න පැසිෆික් කලාපයට ඉහළින් පවතින සුළං රටාවන්හිද මේ වනවිට වෙනස්කම් නිරීක්ෂණය වන බව NOAA ආයතනය පෙන්වා දෙනවා. එය සාගර උෂ්ණත්වය ඉහළ යාමට වායුගෝලය ප්‍රතිචාර දක්වමින් සිටින බවට වන පැහැදිලි සංඥාවක් ලෙසයි එම ආයතනය හඳුන්වා දෙන්නේ.
මේ හේතුවෙන් ඉදිරි මාස කිහිපය තුළ ලෝකයේ විවිධ ප්‍රදේශවල අයහපත් කාලගුණික සිදුවීම් තවදුරටත් වර්ධනය විය හැකි බවට ජාත්‍යන්තර කාලගුණ විද්‍යා ආයතන අනතුරු අඟවා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk