2026-06-05 10:17 Hours
ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග ඉතාලියේ රෝම නුවර හි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරඟාවලියේ දී ඉතිහාසගත දක්ෂතාවයක් පෙන්නුම් කරමින් නව තරඟාවලි වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (04) රාත්‍රීයේ පැවැති මෙම ඉසව්වේදී රුමේෂ් තරංග මීටර් 92.62ක දුරක් විසිකරමින් මෙම සුවිශේෂී දක්ෂතාවයක් වාර්තා කළා. ලොව ප්‍රමුඛතම මලල ක්‍රීඩක ක්‍රීඩකාවන් එක්වන මෙම තරඟාවලියේ දී 23 හැවිරිදි රුමේෂ් දැක්වූ මෙම දක්ෂතාව නව තරඟාවලි වාර්තාවක් මෙන්ම 2026 වසරේ ලොව හොඳම හෙල්ල විසිකිරීම විය. ඔහු මෙලෙස අබිබවා යනු ලැබුවේ 2006 වසරේ දී නෝර්වීජියානු ක්‍රීඩක ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් විසින් මීටර 90.34 ක දුරක් විසිකරමින් පිහිටුවා තිබූ තරග වාර්තාවයි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ මීටර් 90ට වඩා වැඩි දුරක් හෙල්ල විසිකළ පළමු හා එකම අවස්ථාව මෙය වනවා. ඊට අමතරව හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ආසියානු ක්‍රීඩකයෙකු දැක්වූ දෙවන හොඳම දක්ෂතාව ද මෙය ලෙස සැලකෙනවා. මෙහි පෙරමුණේ පසුවන පාකිස්ථානයේ අර්ෂාඩ් නදීම් අවසන් වරට පැවති පැරිස් ඔලිම්පික් උළෙලේ දී මීටර් 92.97ක දක්ෂතාවක් දැක්වූ අතර ඔහු හා රුමේෂ් අතර ඇත්තේ සෙ. මී. 35ක් වැනි සුළු වෙනසකි. තවද හෙල්ල විසි කිරීමෙන් මීටර් 90 සීමාව පසුකළ සිව්වන ආසියානු ක්‍රීඩකයා ලෙසද රුමේෂ් සැලකෙනවා. මීට අමතරව රුමේෂ් තරංගගේ මෙම දක්ෂතාව ලෝක හෙල්ල විසි කිරීමේ වාර්තා අතර ලොව 8 වැනි හොඳම විසි කිරීම අතරට අයත් වනවා. කෙසේ වෙතත්, රුමේෂ් තරගයේදී දැක්වූ මෙම විශිෂ්ට දක්ෂතාව හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයෙකු පසුගිය වසර හතරකට අධික කාලය තුළ මීටර් 92 සීමාව ඉක්මවා ගිය දෙවන අවස්ථාව ලෙස වාර්තා අතරට එක්විය. මෙම ප්‍රයත්නයත් සමඟ රුමේෂ් සියම ශ්‍රී ලංකා වාර්තාව යළි අලුත් කිරීමට සමත් වූ අතර, ඔහු මීට පෙර ඉකුත් මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ පැවති තරගයකදී මීටර් 89.37ක දුරක් හෙල්ල විසි කර තිබුණි. ඊට අමතරව, එම දක්ෂතාවයෙන් අනතුරුව කෙන්යාවේ නයිරෝබි නුවර පැවති තරගයකදී ද රුමේෂ් මීටර් 89.28ක දක්ෂතාවක් වාර්තා කරමින් සිය ස්ථාවරත්වය තහවුරු කර තිබුණි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk