2026-06-08 17:53:00 Hours
චීන ජනාධිපති Xi Jinping සිය 2026 වසරේ පළමු විදේශ සංචාරය ආරම්භ කරමින් අද (08) දෙදින නිල සංචාරයක් සඳහා උතුරු කොරියාව වෙත ළඟා වී තිබෙනවා.
Pyongyang ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී චීන ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා උතුරු කොරියානු නායක Kim Jong Un සහ ඔහුගේ බිරිඳ ද එක්ව සිටි අතර, රතු පලස්, හමුදා උත්තමාචාර සහ විශේෂ රාජ්‍ය උත්සවයක් සමඟ අතිඋත්කර්ෂවත් පිළිගැනීමක් සංවිධානය කර තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2019 වසරෙන් අනතුරුව චීන රාජ්‍ය නායකයෙකු උතුරු කොරියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙනවා.
දෙරට අතර පවතින දිගුකාලීන දේශපාලන සහ ආර්ථික සබඳතා නැවත වරක් ප්‍රදර්ශනය කළ අවස්ථාවක් ලෙසද එය හැඳින්විය හැක.
මෙම සංචාරය සිදුවන්නේ මෑතකදී Donald Trump සහ Vladimir Putin සමඟ වෙන වෙනම සාකච්ඡා පැවැත්වූ පසුබිමක වීම ද විශේෂත්වයක් ලෙස දක්වා තිබෙනවා.
දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, අමෙරිකාව සමඟ න්‍යෂ්ටික සාකච්ඡා ප්‍රගතියක් නොලැබෙන තත්ත්වයක් තුළ, උතුරු කොරියාව සිය ප්‍රධානතම ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික හවුල්කරු වන චීනය සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට මෙම හමුව භාවිත කරනු ඇති බවයි.
කෙසේ වෙතත්, සංචාරයට පෙර උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය විසින් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වූයේ, රටේ න්‍යෂ්ටික අවි වැඩසටහන කිසිදු ආකාරයකින් පසුපසට නොගන්නා ප්‍රතිපත්තියක් බවයි.
සංචාරය අතරතුර කලාපීය ආරක්ෂාව, ද්විපාර්ශ්වික වෙළඳාම, ආර්ථික සහයෝගීතාව සහ ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් නායකයින් දෙදෙනා අතර පුළුල් සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk