2026-06-25 22:40 Hours

නාලන්දාවේ ශතකාභිෂේකය වෙනුවෙන් ක්‍රීඩා තරුවලට උපහාර


...

සියවසක අභිමානවත් ඉතිහාසයක් හිමි කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ශ්‍රී ලංකාවට දායාද වූ විශිෂ්ට ක්‍රීඩකයින් 93 දෙනෙකු ඇගයීම සඳහා සංවිධානය කළ "Nalanda Sports Icon of the Century" සම්මාන උළෙල පසුගිය ජූනි 24 වැනිදා නාලන්දා විද්‍යාලයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

නාලන්දා විද්‍යාලයේ සියවස් සැමරුම් වැඩසටහන් මාලාවේ ප්‍රධාන අංගයක් ලෙස පැවැති මෙම උළෙල ආදි නාලන්දා ක්‍රීඩා සමාජය (ONSC) විසින් සංවිධානය කර තිබූ අතර, සම්මානලාභී ක්‍රීඩකයින්, ගුරුවරුන්, ආදි සිසුන් සහ ක්‍රීඩාලෝලීන් ඇතුළු 600කට අධික පිරිසක් ඊට එක්ව සිටියා.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සහභාගී වූ අතර, නාලන්දා විද්‍යාලයේ ක්‍රීඩා උරුමය ඇගයීමට ලක් කරමින් මව්බිමට කීර්තිය ගෙනදුන් සියලුම ක්‍රීඩකයින්ට සිය ගෞරවය පුද කළා. එමෙන්ම විද්‍යාලයේ අනාගත ක්‍රීඩා සංවර්ධනය සඳහා රජයේ සහයෝගය ලබාදෙන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ආදි නාලන්දා ක්‍රීඩා සමාජය සිදුකළ දීර්ඝ ගවේෂණයකින් අනතුරුව ක්‍රීඩා ඉසව් 18ක් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර හා ජාතික තලයේ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් 93 දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර වුණා. මියගිය ක්‍රීඩා විශිෂ්ටයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සම්මාන ප්‍රදානය කිරීමද උළෙලේ සංවේදී අවස්ථාවක් වුණා.

එමෙන්ම මෙම ක්‍රීඩා විරුවන්ගේ නාමයන් ඇතුළත් සමරු නාම පුවරුවක් නාලන්දා විද්‍යාලයේ ප්‍රධාන ක්‍රීඩාගාරයේදී නිරාවරණය කරනු ලැබුවා.

නාලන්දා විද්‍යාලයෙන් බිහිවූ ක්‍රීඩා තරු අතර ස්ටැන්ලි ජයසිංහ, බන්දුල වර්ණපුර, මහේල ජයවර්ධන, ශ්‍රියන්ත දිසානායක, සුමිත් ලියනගේ සහ ශම්මි සිල්වා ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමුඛයන් සිටිනවා.

උළෙල අමතමින් ආදි නාලන්දා ක්‍රීඩා සමාජයේ සභාපති දිනුක චන්ද්‍රරත්න මහතා, 1967 වසරේ සිට නාලන්දා ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සංගමය ඉටු කළ මෙහෙවර සිහිපත් කළ අතර, දෙවන සියවස සඳහා ශක්තිමත් ක්‍රීඩා අනාගතයක් ගොඩනැගීමේ අවශ්‍යතාව ද අවධාරණය කළා.

නාලන්දා සියවස් සැමරුම් ව්‍යාපෘතියේ තානාපතිවරයෙකු වන මහේල ජයවර්ධන මහතා ද මෙහිදී අදහස් දක්වමින්, ඉදිකිරීමට නියමිත "නාලන්දා ශත සංවත්සර ක්‍රීඩා සංකීර්ණය සහ ගෘහස්ථ ක්‍රීඩාගාරය" සඳහා සියලුම ආදි නාලන්දියන්ගේ සහයෝගය අවශ්‍ය බව ප්‍රකාශ කළා.

මෙම ඇගයීම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පික සිල්වා මහතා ආදි නාලන්දා ක්‍රීඩා සමාජයට සිය කෘතඥතාව පළ කළා.

"සියවසක අභිමානය සමරමු | උරුමය සුරකිමු | අනාගතය දිරිමත් කරමු" යන තේමාව යටතේ පැවැති මෙම සම්මාන උළෙල, නාලන්දා ක්‍රීඩාවේ ඉදිරි සියවස සඳහා නව දැක්මක් සහ අධිෂ්ඨානයක් සනිටුහන් කරමින් නිමාවට පත්වුණා.

...
...


පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk