2026-06-22 23:16:00 Hours

ඉරාන තෙල් වෙළෙඳාමට අමෙරිකාවෙන් දින 60ක සහනයක්


...

ඉරානයට ඉන්ධන අලෙවි කිරීමට තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

අමෙරිකානු මුල්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ දෙපාර්ශවය අතර සාකච්ඡා ඉදිරියට ඇදෙන අතරතුර ඉරාන බොරතෙල්, ඛනිජ තෙල් නිෂ්පාදන සහ පෙට්‍රොකෙමිකල් ද්‍රව්‍ය නිෂ්පාදනය, බෙදා හැරීම සහ අලෙවි කිරීම සඳහා දින 60ක පොදු බලපත්‍රයක් නිකුත් කර ඇති බවයි.

මෙම පියවර අඛණ්ඩව සිදුවන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයන්තයන්හි කොටසක් වන බවත් අවසන් සාම ගිවිසුමකට එළැඹීම සඳහා ඉන් විශාල සහයෝගයක් ලැබෙන බවද අමෙරිකානු මුල්‍ය ලේකම් Scott Bessent මහතා පවසනවා.

මෙම තාවකාලික සම්බාධක ලිහිල් කිරීම ලබන අගෝස්තු 21 වනදා දක්වා බලාත්මකව පවත්වනු ඇති බවද අපේක්ෂා කරනවා.

අදාළ වාර්තාවට අනුව මෙම තාවකාලික සහනය තෙල් අපනයනයට පමණක් සීමා නොවන බවත් ඊට අදාළ බැංකු කටයුතු, රක්ෂණ සහ ප්‍රවාහන වැනි සේවාවන් සඳහා ද අදාළ වන බව සඳහන්.

ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන අමෙරිකානු - ඉරාන සාකච්ඡා තවදුරටත් ඉදිරියට යමින් පවතින අතර, මුහුදු ආරක්ෂාව, කලාපීය ස්ථාවරත්වය සහ අන්‍යෝන්‍ය අවධානයට ලක්වන තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රගතියක් අත්කරගෙන ඇති බව දෙරටේ නියෝජිතයන් පවසනවා.

මේ අතර, ඇතැම් සීමාකිරීම් ලිහිල් කිරීමේ පියවර ගෙන තිබුණද, එය සම්පූර්ණ සම්බාධක ඉවත් කිරීමක් ලෙස සැලකිය නොහැකි බව අමෙරිකාව අවධාරණය කර තිබෙනවා.

වොෂින්ටන් පරිපාලනය සඳහන් කරන්නේ මෙම සහන ක්‍රියාමාර්ග තාවකාලික ස්වභාවයකින් යුක්ත වන අතර, ඉරානයට එරෙහි සියලුම සම්බාධක ඉවත් කිරීම පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk