2026-06-22 10:13:00 Hours

නදීෂාගේ Smart කාණුව පළමුවරට ලංකා⁣වට ගෙන එයි


...

කොළොන්නාව ප්‍රදේශයේ වදුල්ලවත්තේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය ඉදිරිපිට පිහිටි විවෘත කාණුවක් ආශ්‍රිතව ලොව පළමු “ස්මාර්ට් කාණු” (Smart Drain) පද්ධතිය ස්ථාපිත කර ඇති බව එම ව්‍යාපෘතියේ සංවිධායකයන් පවසනවා.

වසර ගණනාවක් පුරා ප්ලාස්ටික්, පොලිතීන් සහ අනෙකුත් ඝන අපද්‍රව්‍ය සිරවීම හේතුවෙන් වර්ෂා කාලවලදී පිටාර ගැලීමට ලක්වන මෙම කාණුව හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවන්ට මුහුණ දී තිබුණා.

ව්‍යාපෘතිය යටතේ මීටර් 120ක කාණු කොටසක් තෝරාගෙන එහි දැල් සහිත මැද ස්ථරයක් සහ මීටර් 30ක පරතරවලින් කසළ රඳවා ගැනීම සඳහා විශේෂ බින් පද්ධතියක් ස්ථාපිත කර ඇත. එමෙන්ම කාණුවේ ජල ප්‍රවාහය සහ කසළ එකතුව නිරීක්ෂණය කිරීම සඳහා IoT (Internet of Things) තාක්ෂණය භාවිත කරන ස්මාර්ට් නිරීක්ෂණ ඒකක දෙකක්ද සවිකර ඇති බව සඳහන්.

මෙම පද්ධතිය මගින් කාණුව තුළ ගලා යන ජලයේ වේගය, ජල මට්ටම සහ බින් තුළ රැඳී ඇති කසළ ප්‍රමාණය රියල් ටයිම් ආකාරයෙන් නිරීක්ෂණය කළ හැකි බව සඳහන්ය. එම දත්ත විශේෂ ඩෑෂ්බෝඩ් පද්ධතියක් හරහා ප්‍රදේශවාසීන්ට සහ පළාත් පාලන ආයතන වෙත ලබාදීමට නියමිතයි.

කසළ ප්‍රමාණය නියමිත සීමාව ඉක්මවූ විට අදාළ නිලධාරීන් වෙත කෙටි පණිවිඩ මගින් ස්වයංක්‍රීය දැනුම්දීම් යොමු කිරීමේ හැකියාවද මෙම පද්ධතිය සතු වේ. එමෙන්ම හදිසි නාගරික ගංවතුර තත්ත්වයන් ඇතිවීමට පෙර ඒවා හඳුනාගෙන අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද මෙම තාක්ෂණය උපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ව්‍යාපෘතියේ කාර්යක්ෂමතාව තහවුරු කිරීම සඳහා ජල බවුසර් යොදාගෙන කෘත්‍රිම වැසි තත්ත්වයන් නිර්මාණය කරමින් ජල ගැලීමේ හැකියාව සහ කාණුවේ ධාරිතාව පිළිබඳ පරීක්ෂණද සිදු කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා පෞද්ගලික අංශය, රජයේ ආයතන, ප්‍රදේශවාසීන් සහ ඉංජිනේරු විශේෂඥයන් රැසක් දායක වී ඇති අතර, නාගරික කසළ කළමනාකරණය සහ ගංවතුර පාලනය සඳහා නව තාක්ෂණික විසඳුමක් ලෙස මෙය හඳුන්වා දී ඇත.

ව්‍යාපෘතියේ සංවිධායකයන් පවසන්නේ ලොව පළමු ස්මාර්ට් කාණු පද්ධතිය ලෙස මෙම ව්‍යාපෘතිය වදුල්ලවත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk