2026-07-11 20:51 Hours
උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය ගෙන එන යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධිකරණ සේවා සංගමය අද (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වූ අතර, ඊට සහභාගී වූ විනිසුරුවරුන් ආණ්ඩුවේ යෝජනාවට ඒකමතිකව විරෝධය පළ කර තිබෙනවා.
මෙම රැස්වීමට විනිසුරුවරුන් 65 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් සියලු දෙනාම විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, සාමාජිකයින් 250කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරන අධිකරණ සේවා සංගමයේ මෙම විශේෂ මහා සභා රැස්වීම කැඳවීම සම්බන්ධයෙන් බරපතල ව්‍යවස්ථාපිත සහ පරිපාලනමය මතභේදයක් ද මතුව තිබුණා.
සංගමයේ ව්‍යවස්ථාවට අනුව විශේෂ මහා සභා රැස්වීමක් කැඳවීම සඳහා සමස්ත සාමාජික සංඛ්‍යාවෙන් තුනෙන් එකක ලිඛිත ඉල්ලීමක් හෝ විධායක සභාවේ අනුමැතිය අවශ්‍ය වන නමුත්, මෙම රැස්වීම සඳහා විධායක සභාවේ අනුමැතිය ලබා දී තිබුණේ සාමාජිකයින් 40කට ආසන්න පිරිසක් පමණක් බව සඳහන්.
ඒ අනුව, රැස්වීම නීත්‍යනුකූලව කැඳවීමට අවශ්‍ය සාමාජික සංඛ්‍යාව සම්පූර්ණ වී නොමැති බව පෙන්වා දෙමින්, අධිකරණ සේවා සංගමයේ සභාපති සහ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම රැස්වීම කැඳවිය නොහැකි බවට විරෝධය පළ කර තිබුණා.
මේ අතර මහේස්ත්‍රාත්වරුන්ගෙන් හා දිසා විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමයේ සභාපති ධූරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වනවා.
ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ අද (11) අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා විසින් කැඳවා තිබූ මහා සභා රැස්වීම සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වයක් මීට හේතුවෙනි.
දැනට සාකච්ඡාවට බඳුන්ව ඇති විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කරුණ සම්බන්ධව අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින්ගේ අදහස් විමසීම සදහා එම සංගමයේ විශේෂ මහා සභා රැස්වීමක් එහි විධායක කමිටුව විසින් (11) කඩුවෙල අධිකරණ පරිශ්‍රයේ දී පැවැත්වූ අතර එම තීන්දුවට විරෝධය පළකරමින් ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබුණා.
ඊට අමතරව සිය ඉල්ලා අස්වීමට හේතු දක්වමින් අධිකරණ සේවා සංගමයේ සභාපති පසන් අමරසේන මහතා විසින් අධිකරණ සේවා සංගමයේ සාමාජිකයින් වෙත යොමු කළ ලිපියක් ද අද (11) දිනයේ සමාජ මාධ්‍ය සංසරණය වුණා.
කෙසේ වෙතත් අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයාගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් එම සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ මහතා විසින් යොමු කළ ලිපියක් ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
අදාළ ලිපියෙන් ඔහු පෙන්වා දී තිබුණේ අද දිනයේ සැලසුම් කළ පරිදි සිය සංගමයේ විශේෂ මහා සභා රැස්වීම පැවැත්වෙන බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk