2026-07-10 22:31:00 Hours
සමාගම් දෙකක් අතර පැවති චෙක්පත් ගනුදෙනුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන අතුරු නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතා ගොනු කළ රිට් පෙත්සම ලබන 30 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (10) නියෝග කළා.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ශෂී මහේන්ද්‍ර සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.
නීතිඥ සනත් විජේවර්ධන මහතා මාර්ගයෙන් ගොනුකර ඇති පෙත්සමේ සඳහන් වන්නේ, කේසර ලංකා පෞද්ගලික සමාගම සහ සිලෝන් නිවුස් පේපර්ස් පෞද්ගලික සමාගම අතර පැවති චෙක්පත් ගනුදෙනුවක් සම්බන්ධයෙන් CID විමර්ශනයක් ක්‍රියාත්මක වන බවයි.
ඒ සම්බන්ධයෙන් දැනටමත් තම සමාගමේ සේවකයින් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස කළමනාකාර අධ්‍යක්ෂ ටිරාන් අලස් මහතා ඕනෑම අවස්ථාවක අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බව පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
එවැනි අත්අඩංගුවට ගැනීමක් නීතිවිරෝධී බවට තර්ක කරන පෙත්සම්කරු, එය වළක්වන අතුරු නියෝගයක් සහ අදාළ විමර්ශනය සම්බන්ධයෙන් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇති බව සඳහන්.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ කේසර ලංකා පෞද්ගලික සමාගම ඇතුළු පාර්ශ්ව කිහිපයක් නම් කර ඇති අතර, කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම ලබන 30 වැනිදා යළි කැඳවීමට නියෝග කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk