2026-07-12 10:04:00 Hours

ජනපති අනුරගේ ප්‍රංශ සංචාරය කල් යයි


...

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ මසදී ප්‍රංශයේ සිදු කිරීමට නියමිතව තිබූ නිල සංචාරය වසර අවසානය දක්වා කල් දමා ඇති බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය ඇතුළු මෙරට පවතින ඇතැම් කරුණු හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

සංචාරය කල් දැමීම පිළිබඳව ප්‍රංශ බලධාරීන් දැනුවත් කර ඇති බව සඳහන්.

මෙම නිල සංචාරය මේ වසරේ වෙනත් දිනක සිදු කරන බවත් ඒ සඳහා නව දිනයක් ඉල්ලා ඇති බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

පසුගිය පෙබරවාරි මසදී ඉන්දියාවේ නවදිල්ලියේ පැවැති AI Impact Summit සමුළුවට සමගාමීව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පැවති හමුවේදී මෙම ආරාධනය ලැබී තිබුණා.

මෙම සංචාරයේ දී යුරෝපා සංගමයේ GSP+ බදු සහන ක්‍රමය තවදුරටත් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ප්‍රංශයේ සහාය ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබූ බවද වාර්තා වනවා.

වත්මන් GSP+ සහන ක්‍රමය මෙම වසරේ දෙසැම්බර් 31 වනදා අවසන් වන අතර ලබන වසරේ ශ්‍රී ලංකාවට ඒ සඳහා නැවත අයදුම් කිරීමට සිදුවනු ඇති.

විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රංශ සංචාරයේ දී ආර්ථික හා මුල්‍ය සහයෝගීතාව සහ ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ අවබෝධතා ගිවිසුම් 3ක් අත්සන් කිරීමට රජය සැලසුම් කර තිබූ බවයි.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ද එක්වීමට නියමිතයි.

මේ අතර ලෝක බැංකු සමූහය (World Bank Group) විසින් 2026 ජූලි 1 වැනිදා නිකුත් කළ නව රටවල ආදායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ-මධ්‍යම ආදායම් ලබන රටක (Lower-Middle Income Country) සිට ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් (Upper-Middle Income Country) බවට උසස් කරීමත් සමඟ GSP+ සහන නොලැබීයෑමේ අවදානමක් සම්බන්ධයෙන්ධ විවිධ මත පලව තිබෙනවා.

කෙසේ වෙතත් නව EU GSP නීති (2027 සිට) අනුව, වසර තුනක් අඛණ්ඩව Upper-Middle Income හෝ High Income ලෙස වර්ගීකරණය වී ඇති රටවල් GSP ප්‍රතිලාභයෙන් ඉවත් කිරීමේ විධිවිධාන ඇතුළත්ව ඇති බවද පැවසෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk