2026-04-17 15:00 Hours

BREAKING - බලශක්ති ඇමති කුමාර සහ අමාත්‍යංශ ලේකම් ධුරවලින් ඉල්ලා අස්වෙයි


...

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔවුන් මෙලෙස සිය ධුරවලින් ඉල්ලා අස්වී ඇත්තේ ගල් අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ ලබාදීමේ අරමුණෙනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් එම දෙපළ සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,

බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා ධූරයන්ගෙන් ඉල්ලා අස් වෙති

අපක්ෂපාති සහ ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා අද (17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත තම ධුරයන්ගෙන් ඉල්ලා අස්වීම පත්‍ර ඉදිරිපත් කර ඇත.

ගල් අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පිළිබඳව පවත්වන විශේෂ ජනාධිපති කොමිසමේ අපක්ෂපාති හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් මෙම තීරණය ගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් ගල් අඟුරු ආනයනයේදී සහ එයට අදාළ විදුලි නිෂ්පාදනයේදී අක්‍රමිකතා සහ නීතිවිරෝධී ක්‍රියා සිදුවී ඇත්ද යන්න විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කර ඇත. එම කොමිසමේ කටයුතු වලට අපක්ෂපාතිව සහය දක්වීම සඳහා අමාත්‍යවරයා සහ ලේකම්වරයා මෙම තීරණය ගෙන ඇත.

අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසන්නේ, 2009 වසරෙන් ආරම්භ වූ ගල් අඟුරු ආනයන ක්‍රියාවලිය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කිරීම ජනාධිපතිවරයාගේ නිර්භීත පියවරක් ලෙස තමන් අගය කරන බවයි.

එසේම, එම විමර්ශනය සම්පූර්ණයෙන්ම ස්වාධීනව සහ පක්ෂපාතීත්වයෙන් තොරව සිදු විය යුතු බවට තමන් විශ්වාස කරන බවත්, තමන් තනතුරේ සිටීම විමර්ශනයට බාධාවක් විය හැකි බැවින් ධුරයෙන් ඉල්ලා අස්වූ බවත් ඔහු සඳහන් කර ඇත.

ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා ද තමන්ගේ ඉල්ලා අස්වීම විමර්ශන කටයුතු වල ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා ගත් පියවරක් බව සඳහන් කර ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය 2026-04-17



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk