2026-04-12 09:23:00 Hours

ඉරානය සහ අමෙරිකාව අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි


...

ඉරානය සහ අමෙරිකාව අතර පැවැති සාම සාකච්ඡා සඳහා සද්භාවයෙන් පැමිණි බව අමෙරිකාව පවසනවා.

අමෙරිකාවේ උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කරන්නේ ඉරානය එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බවයි.

මේ හේතුවෙන් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවද ඔහු පවසනවා.

පැය 12කට අධික කාලයක් පුරා පාකිස්ථානයේ ඉස්ලාමාබාද් හි පැවැති සාකච්ඡාවෙන් පසුව පළමු වරට මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෑන්ස් මෙම අදහස් පළකළා.

ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවත්වීම මුලික ඉලක්කයක් බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.

වෑන්ස් පෙන්වා දෙන්නේ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසුව එක්සත් ජනපදය පාකිස්ථානයෙන් ඉවත් වීමට සැලසුම් කළ බවයි.

කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්ථානයට සිය ස්තුතිය පළ කරන බවද ඔහු මෙම මාධ්‍ය හමුවේදී පවසා තිබෙනවා.

මැදපෙරදිග පවතින යුද ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය සහ එක්සත් ජනපදය සාම සාකච්ඡා ඊයේ (11) පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි සෙරීනා හෝටලයේදී ආරම්භ වුණා.

අදාළ සාකච්ඡාව සඳහා පාකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ අතර එම සාකච්ඡා ඊයේ (11) පස්වරුවේ ආරම්භ වුණා.

ඉරාන මාධ්‍ය වාර්තාවලට අනුව අදාළ සාම සාකච්ඡා සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය න්‍යෂ්ටික ප්‍රශ්නය, ඉවත් කිරීම, යුද වන්දි සහ ඉරානයට සහ කලාපය තුළ පවතින යුදමය තත්ත්වය සම්පූර්ණයෙන් අවසන් කිරීම ඇතුළු ප්‍රධාන කරුණු රැසක් මෙහිදී ඉරානය විසින් සාකච්ඡාවට ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඉරානය පවසන්නේ දෙපර්ශවෞඅ අතර පැවැත්වෙන මෙම සාකච්ඡා හි රාමුවකට ළඟා වන තෙක් හෝමූස් සමුද්‍ර සන්ධියේ තත්ත්වය වෙනස් නොවනු ඇති බවයි.

මේ අතර ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බකායි ද අමෙරිකාව පැවැති සාම සාකච්ඡාවල තත්ත්වය සම්බන්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඔහු එහිදී පවසා ඇත්තේ සාකච්ඡාවල සාර්ථකත්වය යහපත් විශ්වාසය මත රඳා පවතිනු ඇති බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk