2026-04-09 10:35:00 Hours

ලෙබනනයට එල්ලවූ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා - ඉරානය ඊශ්‍රායලයට අනතුරු අඟවයි


...

ඊශ්‍රායලය විසින් ලෙබනනය ඉලක්ක කරමින් එල්ල කළ දරුණු ප්‍රහාර මාලාවෙන් පසු ඉරානය විසින් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව අනතුරු අඟවා තිබෙනවා.

ඔවුන් මෙම අනතුරු ඇඟවමින් සඳහන් කරන්නේ ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් අමෙරිකා සහ ඉරාන සාම ගිවිසුමක් ඇති කර ගැනීමේ සාකච්ඡා ද අවධානමකට ලක්ව ඇති බවයි.

ඊශ්‍රායලය විසින් ඊයේ (08) මිනිත්තු 10ක් වැනි කෙටි කාලයක් තුළ ලෙබනනයේ ඉලක්ක 100ක් වෙත් දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කළා.

එම ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 250ක පමණ පිරිසක් මියගොස් ඇති බව වාර්තා වනවා.

ඉන් පුද්ගලයින් 1165 දෙනෙක් තුවාල ලබා බව සඳහන්.

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත් වෙයිද?

නේටෝ ප්‍රධානී මාර්ක් රූට් සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයට දැඩි ලෙස දෝෂදර්ශනයට ලක්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම හමුවේදී ට්‍රම්ප් නේටෝ සංවිධානයෙන් ඉවත් වීමේ හැකියාව සම්බන්ධව සාකච්ඡා කරන්නට ඇති බවයි.

මෙහිදී ග්‍රීන්ලන්තය සම්බන්ධව ද ට්‍රම්ප් නැවත වරක් තර්ජනය කර තිබෙනවා.

ඉරාන යුද්ධයේ දී නේටෝ මිත්‍ර රටවල් තමන්ට සහාය නොදැක්වීම හේතුවෙන් ට්‍රම්ප් දැඩි කෝපයට පත්ව ඇති අතර 80 වසරකට ආසන්න පැරණි ආරක්ෂක සන්ධානයෙන් අමෙරිකාව ඉවත් කරගනු ඇති බිය ද මේ සමඟ මතුව ඇති බව සඳහන්.

සාකච්ඡාවෙන් පසු සිය 'Truth Social' ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් මෙසේ පවසා ඇත්තේ "අපට ඔවුන්ව අවශ්‍ය වූ මොහොතේ නේටෝව එහි සිටියේ නැත. නැවත අපට ඔවුන්ව අවශ්‍ය වුවද ඔවුන් එහි නොසිටිනු ඇත. දුර්වල පාලනයක් සහිත විශාල අයිස් කුට්ටියක් බඳු ග්‍රීන්ලන්තය ගැන මතක තබා ගන්න".

ඉරාන යුද්ධයට පෙර සිට ඩෙන්මාර්ක් සතු ග්‍රීන්ලන්ත දූපත අත්පත් කර ගැනීමට ට්‍රම්ප් ගත් තර්ජනය නේටෝ සන්ධානය තුළ දැඩි නොසන්සුන්තාවයක් ඇති කිරීමට හේතු වුණා. ඉරාන යුද්ධයේ දී අමෙරිකාවේ අරමුණු සාර්ථකව ඉටු වුණා

ඉරාන යුද්ධය ආරම්භයේ සිට අමෙරිකාව සතු වූ සෑම අරමුණක්ම සාර්ථකව ඉටු කරගත් බව ධවල මන්දිරය පවසනවා.

සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ධවල මන්දිරය සඳහන් කරන්නේ ඉරාන නාවික හමුදාව විනාශ කර ඇති බවයි.

ඊට අමතරව ටෙහෙරානයේ ආරක්ෂක කාර්මික පදනම සහමුලින්ම අතුගා දමා ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා.

තවද ඉරානයේ න්‍යෂ්ටික අභිලාශය ද ව්‍යර්ථ කර ඇති බව සඳහන්.

"කළාපයට තර්ජනයක් වීමට ඉරානයට තිබූ හැකියාව ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන්ම බිඳ දමා ඇත."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk