2026-03-12 23:28:00 Hours

අමෙරිකාවේ ඉන්ධන සැපයුම සහතික කරන්න ට්‍රම්ප් ගත් විශේෂ තීන්දුව


...

බොරතෙල් මිල ඉහළ යාමෙන් ගුවන් ගමන්වලටත් බලපාන ලකුණු?

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ යාම සමඟ ගෝලීය ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා.

මේ සමඟ ගුවන් සේවා සමාගම්වලට ඉන් වැඩි බලපෑමක් එල්ල වී ඇති බව සඳහන්.

විශේෂයෙන්ම බොරතෙල් මිලට වඩා වේගයෙන් ගුවන් යානා ඉන්ධන (Jet Fuel) මිල ඉහළ යාම මෙම තත්ත්වය තවත් තිව්‍ර කර තිබෙනවා.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානය සමඟ ආරම්භ කර ඇති යුදමය වාතාවරණය හමුවේ Refining Margins පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා ගුවන් සමාගම් රැසක් දැනටමත් සිය ගුවන් ගමන් ගාස්තු ඉහළ නැංවීමට අමතර ඉන්ධන අධිභාර පැනවීමට සහ ගුවන් ගමන් වාර සීමාව පියවර ගනිමින් සිටිනවා.

මීට පෙර ඉන්ධන මිල උච්චාවචනය වීමෙන් ආරක්ෂා වීම සඳහා හෙජිං ගිවිසුමට එළැඹි සමාගම්වලට පවා පවතින අසාමාන්‍ය මිල ඉහළ යාම හමුවේ දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදු වුණා.

USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ ගින්නක්

Operation Epic Fury මෙහෙයුම සඳහා රතු මුහුදේ ස්ථානගත කර ඇති අමෙරිකානු නාවික හමුදාවට අයත් USS ජෙරල්ඩ් ආර්. ෆෝඩ් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ අද (12) ගින්නක් හටගෙන තිබෙනවා.

නෞකාවේ රෙදි සෝදන අංශයෙන් මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.

එක්සත් ජනපද අණදෙන මුලස්ථානය පවසන්නේ එය කිසිඳු සටන් මෙහෙයුමකට සම්බන්ධ නොවන හදිසි අනතුරක් බවයි.

ගින්න මේ වන විට සම්පුර්ණයෙන්ම පාලනය කර ඇති බව වාර්තා වනවා.

නෞකාවේ එන්ජින් ක්‍රියාකාරීත්වයට හෝ ප්‍රචාලන පද්ධතියට කිසිඳු හානියක් නොමැති බව සඳහන්.

එම මුලස්ථානය සඳහන් කරන්නේ නෞකාව මේ වන විටත් පූර්ණ මෙහෙයුම් මට්ටමේ පවතින බවයි.

තවද මෙම ගිනි ගැනීමෙන් නාවිකයන් දෙදෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවද වර්තා වනවා.

ඉරානයේ ඉලක්ක 6000කට ප්‍රහාර එල්ල කළා - CENTCOM

එක්සත් ජනපද මධ්‍යම අණදෙන මුලස්ථානය විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් දියත් කර තිබෙන Operation Epic Fury මෙහෙයුම යටතේ පසුගිය දින 12 තුළ එල්ල කරන ලද ප්‍රහාරවලින් ඉරානයට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වනවා.

මේ අනුව දළ වශයෙන් 6000ක ඉලක්ක සඳහා ප්‍රහාරය සිදුව ඇති බව සඳහන්.

ඉරාන නෞකා ගණන 90කට අධික බවද ඔවුන් නිකුත් කළ වාර්තාවේ පෙන්වා දෙනවා.

CENTCOM නිවේදනයට අනුව මෙම ප්‍රහාර මාලාව ප්‍රධාන වශයෙන් ඉරානයේ ආරක්ෂක ව්‍යුහය ඉලක්ක කර ගනිමින් එල්ල වී ඇති බව වාර්තා වනවා.

ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමට ට්‍රම්ප් හදිසියේ ගත් තීන්දුව

ඇමෙරිකානු වෙළෙඳපොලේ ඉන්ධන සැපයුම ස්ථාවර කිරීමේ අරමුණින් Jones පනත දින 30ක කාලසීමාවකට තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

Bloomberg සේවයේ වාර්තාවකින් මේ බව පෙන්වා දී තිබෙනවා.

අමෙරිකානු ජනපදයේ දේශීය වෙරළ බඩ නගර අතර සිදු කෙරෙන භාණ්ඩ ප්‍රවාහනය සඳහා අමෙරිකානු ධජය සහිත නෞකා පමණක් භාවිතා කළ යුතු බවට පනවා ඇති නීතිය ජෝන්ස් පනත ලෙස හැඳින්වෙනවා.

මෙම තාවකාලික අත්හිටුවීම මඟින් විදේශීය ටැංකි නෞකාවකට මෙක්සිකෝ බොක්කේ සහ අනෙක් අමෙරිකානු ප්‍රදේශවල සිට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි ඉන්ධන පිරිපහදු වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට අවස්ථාව ලැබෙනවා.

මේ අනුව සාමාන්‍යයෙන් පනත මඟින් පවතින සීමා කිරීම් ඉවත් කිරීම සහ නැගෙනහිර වෙරළ තීරයට අවශ්‍ය ඉන්ධන තොග කඩිනමින් සහ පහසුවෙන් ලබා ගැනීමට හැකි වනු ඇති.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk