2025-07-07 14:10 Hours

අරාගේ ගෙදරට නයෙක් ඇවිත්


...



උදේම නැගිට්ටම මම මගේ ගේ දිහා බලන් ඉන්නව. සමහර දවසට මට ඇස් වලට කදුලු එනව එහෙම බලන් ඉද්දි .

ඊයෙ පූල් එක සුද්ද කරන්න ආව එකා ටැංකියට බහින්න බැරුව ඇඹරෙද්දි මම ඇඳන් හිටිය සූට් එක ගලවල බැස්සෙ ඌට දේශනාවකුත් දිලා.

"මම මේ වැඩ උඹලට කියන්නෙ මම කරන්න දන්නෙ නැති නිසා නෙමෙයි. වෙලාවක් නැති නිසා. දවසෙ පඩිය රු 80 ට මම ඉරිගේශන් එකේ කොන්ක්‍රීන් අනල තියෙනවා. බයිසිකලේ පැච් එක දා ගන්න රුපියල් තුන නැතුව හැතැම්ම හය බයිසිකලේ තල්ලු කරල තියෙනවා. අට්ට්ක්කා තම්බලා කාලා තියෙනවා. කැම්පස් ඉද්දි ජිම් එක ගාව අඹ ගහෙන් අඹ කඩන් කාලා බඩ පිරෙන්න ටැප් එකෙන් වතුර බීලා තියෙනවා"

අන්තිමට ඌත් ටැංකියට බැස්සා.

මම මේ ගෙදර සහ නාන තටාකයෙ ෆොටෝ ඕනෑ තරම් බුකියෙ දාලා ඇති. ඒත් හරිම කෑදර කමින් මම ඒවා ආයෙ ආයෙත් දානවා. මිනිසුන්ට තියෙන දේවල් වල ෆොටෝවක් දැක්කම ඒවා රසවින්දනය කරන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න කියල මම හැමෝගෙන්ම ඉල්ලනවා.

දුක මාර්කට් කරන මානසික රෝගියෙක් කියල සමහර පොරවල් මට කියල තියෙනව. ඔව් එහෙම රෝගයක් මට ඇති. ඒත් මම ආයෙ ආයෙත් මගේ දුක මාර්කට් කරනවා.

මම ඉස්කෝලෙ ගියෙ මින්නේරි ඔයෙන් එගොඩ වෙලා. උසස් පෙලදිත් මාව එහෙම එගොඩ කලේ මගේ තාත්තා. කරේ තියන්.

එහෙම එගොඩ කලාට පස්සෙ වෙල් යාය කෙරවලට වෙනකං සපත්තු දෙක අතේ අරන් ගිහින් දා ගත්තෙ. තාත්තා මගෙ කකුල් දෙක ආදරෙන් පිහදලා සපත්තු දම්මලා ඈත වංගුවෙන් නොපෙනී යනකං බලං හිටිය හැටි මට මේ කදුලු රස අතරින් තාම පේනවා.

සිය දහස් වාරයක් ලියා ඇති පරිදි අපේ ගේ අඩි 10x 10 ප්‍රමාණයෙ පොල් අතු ගෙයක්. ලස්සනට මල් හදල තිබ්බ මිදුලක තිබ්බත් වහලෙ පුරාම වේයො දිව්වා. ගං වතුරට කැඩෙන කැඩෙන සැරේට තාත්තා ඒක ආයෙ ආයෙත් හැදුවෙ වැස්සට හිනා වෙවී. මැටිමොප්ප වසාගෙන පෘශ්ඨිමත්ව වැඩුන කටුමැටි බිත්ති වල මගේ ඇගිලි වලට වඩා තිබ්බෙ අදටත් මගෙන් කිවසිවක් බලාපොරොත්තු නොවන ආත්මීය සෙනෙහෙවන්ත, නංගිගෙ පුංචි ඇගිලි සළකුනු.

පරණ රෙද්දක් උඩු වියනට බැඳල තිබ්බෙ නංගිගෙයි මගෙයි ඇස් කණ වෙන එක නවත්තන්න.

වැහි කාලෙට කකුල් දියමිටියො කාපුවම අම්මා පත්තර කොල පුච්චලා පොල් තෙල් එක්ක ඇගිලි කරු අතර ගෑවා.

දෙසැම්බරේ සීතල නත්තලේ හද්දා වැස්සට මහ හුලග පොල් අතු වහල බූසියට අවුස්සලා අපිව තෙත බරිත කලාම තාත්තාගෙ ඇස් වල කදුලු කැට දිලිහෙන එකත් බලන්නවත් කුප්පි ලාම්පු එලිය ඉතුරු වුනේ නෑ.

"පුතේ උඹ මේකෙන් ගොඩ යන්නම ඕනෙ."

ටෝච් එලියට පෙනුන ඇස් අතරින් තාත්තා එහෙම කියනකොට වහලෙන් වැටුන පත්තෑයො මට සරදමට හිනා වුනා කියලයි මට හිතෙන්නෙ.

අම්මටයි නංගිටයි ඇදුම් මාරු කරන්න ඕන උනාම මමයි තාත්තයි එලියට ගියා.

හැට්ට කටු එක්ක පොඩි පරණ රෙදිකෑලි හෝදලා අම්මයි නංගියි වැලේ එල්ලන හේතුව මම පහු කාලෙක තමා තේරුම් ගත්තෙ.

වැහි කාලෙට තාත්තා කඩුවක් ළග තියන් නිදිමැරුවා මහ රෑට ගෙට ගොඩවෙන මාපිල්ලු, ගෝනුස්සො, පොලොං පැටවු සුරලොව යවල පලවෙනි පන්සිල් පදේ ආසාවෙන් කඩන්න. මාව ගොඩ දාන්න තාත්තා නොකරපු රස්සාවක් නෑ.

අපිට තිබ්බෙ වල කක්කුස්සියක්. වැහි කාලෙට ඒකට මළපහ හරද්දි ඒකෙ වතුරට අසූචි වැටෙනකොට වතුර බිංදු "චපස්" " චපස්" ගාලා තට්ටම් වලට වැටෙනවා. ඒක සම්පූර්ණයෙන් වතුරෙන් පිරුනම ගං වතුරෙ අපි වැසිකිලි ගියෙ හිටගෙන.

පොලොන්නරු දිස්ත්‍රික්කයේ කලා අංශයෙන් මම දෙවෙනියට ලකණු අරන් කොළඹ සරසවියෙ නීති පීඨයට යනකොට අතේ තිබ්බෙ රු 250යි.

1999 මාර්තුවේ බිරිද එක්ක බස් එකේ නැගල රෙදි බෑග් දෙකක් අරන් අනුරාධපුරෙ එනකොට අතේ තිබ්බෙ රු 1500/යි. එදා රෑ නිදා ගත්තෙ රෙදි බෑග් දෙක ඔලුවට තියන්. බෙඩ් ශීට් එක බිමට එලන්. කසාදෙ මුල් කාලෙ රැය ගත කලේ සිමෙන්ති පොලවෙ බෙඩ් ශීට් එකේ. එක කලු කලිසමයි. එක සුදු කමිසෙයි තිබ්බෙ උසාවි අඳින්න.

අදත් අතින් පාඩු ගාස්තු වලට පවා මම පොලොන්නරු උසාවියට යනවා සමහර වෙලාවට. මොකද ඒ මිනිස්සු මම ජීවත් උන පංතියේ. උන් ඉස්සරහ ටයි කෝට් දාගෙන හිටියට ආඩම්බරකාර මගේ හිත ඇතුලෙ අතීතය පහුරු ගානවා.

එකම දේ තමා වෙන වෙන අකුරු වලින් හැමදාම කියන්නෙ. ඒත් මිනිස්සු කියන්නෙ තමන්ට තියෙන දේ.

අපේ ගෙදර ඉන්න පූසත් දැන් නිදා ගන්නෙ ඒසී එකේ. මම හවසට නාන්නෙ හොට් වෝටර්. පූල් එකට බහිනවා හිතුනම. ලෝකෙ වටේම සංචාරකයො ගෙදරට හොයන් එන බිස්නස් එකක් හැදුවා. සෝලාර් පවර් හයි කලා. වයිෆ්ට ලීෆ් කාර් එකක් අරන් දුන්නා කාලෙකට කලින්.

මම කවදාවත් කිසිම තැනක කියන්නෙ නෑ මාව ආදර්ශෙට ගන්න කියල කවදාවත්. මොකද මම දන්නවා මම කොච්චර වැරදි තියෙන මිනිහෙක්ද කියලා. ඒත් එකම එක දේකට මාව ආදර්ශෙට ගන්න.

"අධ්‍යාපනනය කියන්නෙ අත් තටු"

දහස් වෙනි වතාවට ලියනවා. ඉගෙන ගත්තෙ නැත්තං මම අද මින්නේරි ඔය මායිමේ හරක් බලනවා. නැත්‍තං කසිප්පු පෙරනවා. අද මචං කියන ගොඩකට සර් කියනවා. අද සිප ගන්න ගොඩකට මැඩම් කියනවා.

දරුවනි ඉගෙන ගනිල්ලා. එතකොට කවුරු ආන්ඩු කලත් එකයි.

මරණයෙන් පමණක් ඉගෙනීම නැවතිය හැක.

"අවුරුදු 53ක් කියන්නෙ ඉගෙන ගන්න පුලුවන් වයසක් අරා. "

මම මටම කියා ගනිමි

මම මේ ෆොටෝ දාන එක වැරදිද ඉතින්.

කන්නංගර උතුමාණනුයි, අම්මයි තාත්තයි, නංගියි සසරින් එතෙර වෙන්නම ඕනෙ මට ආත්මෙ මේ දුන්න සැප සම්පත් වලට.

මං හිතන්නෙ ආත්ම තෘප්තිය කියන්නෙ මේකට. ඉතින් බුකියෙ මගෙ සතුට නැති කරන කවුරු උනත් මම බ්ලොක් කරනවා. මම මට ආදරෙයි.

ඔබත් ඔබට ආදරේ කරන්න. ජීව්තෙ තමන්ගෙ කොටස උපයා ගන්න. ඒක මුලින්ම වෙන් කර ගන්න.

ආයෙත් කියනවා,

"දරුවනි එකම ගැලවීම ඉගෙනීමය" මාව බලපල්ලා.



මේ කදුලු බරයි. ඒත් රසයි. නවතින්නම්.

© සාම ස්‍රී දේශමාන්‍ය,
දේශබන්ධු ලංකාපුත්‍ර
නීතීඥ අරවින්ද හබක්කල.

(එල්. එල්. බී.- නිදහස් අධ්‍යාපනය.)
(එල්. එල්. එම්.)



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk