2025-10-08 21:08:00 Hours

පාස්කු ප්‍රහාර මහ මොළකරු හඳුනාගෙන අවසන් - රවී සෙනෙවිරත්න පාර්ලිමේන්තු කමිටුව හමුවේ ප්‍රකාශ කරයි


...

පාස්කු ප්‍රහාර මහ මොළකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව රැස්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතා කළ විමසීමකදී මෙම තොරතුරු හෙළිව තිබෙනවා.

රවී සෙනවිරත්න මහතාගේ ධූරය ස්ථිර කිරීම පිළිබඳව එම කමිටුව තුළ සාකච්ඡාවට ගත් අවස්ථාවේ අද (08) ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

කෙසේ වෙතත් රවී සෙනෙවිරත්න මහතා එම කමිටුවට කැඳවීමට පෙර අදාළ කාරක සභාව රැස්වී ඔහුගේ තනතුර සම්බන්ධව සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

එහිදී චමින්ද්‍රිනී කිරිඇල්ල සහ දයාසිරි ජයසේකර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධ කරුණු මතු කර ඇති නමුත් එම චෝදනා ශක්තිමත් චෝදනා නොවන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්වරයා සඳහන් ඇත.

තවද රවී සෙනෙවිරත්න මහතාට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුව පිළිබඳව ප්‍රශ්න කරමින් දයාසිරි ජයසේකර මහතා චෝදනා එල්ල කර තිබෙනවා.

නිසාම් කාරියප්පර් මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති එම නඩුව ට්‍රැෆික් නඩුවක් බවත් සමථයට පත්කළ හැකි නඩුවක් බවත්ය.

ඊට B වාර්තාවක් ඉදිරිපත් කළේ සමථ වීමට හැකියාව තිබියදී වරදකරු විය නොහැකි බවද ඔහු සඳහන් කර තිබෙනවා.

එම අවස්ථාවේදී නිසාම කාරියප්පර් මහතාගේ අදහස් දැක්වීම අමාත්‍ය බිමල් රත්නායක මහතා ද එකඟ වී ඇති බව සඳහන්.

ඊට අමතරව විභාගයට නොගෙනම ඉවත් කළ මුලික අයිතිවාසිකම් නඩුවක් සහ තවම විභාගයට නොගත් මුලික අයිතිවාසිකම් නඩුවක් ගැන මෙහිදී කරුණු සාකච්ඡා වී තිබෙනවා.

රවී සෙනෙරවිරත්න මහතා අදාළ තවත් නඩුවක් ගැන චෝදනාවක් එල්ල වුවද එම නඩුවේ ඔහුව සැකකරු ලෙස නම් කර නොතිබීම ද විශේෂත්වයකි.

අදාළ චෝදනා ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව කමිටුව ඉදිරියට රවී සෙනෙවිරත්න මහතා කැඳවා ප්‍රශ්න කර තිබුණා.

මෙම ප්‍රශ්ණ කිරීම් අතරවාරයේ දී නිසාර් කාරියප්පර් මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව අත්අඩංගුවට ගැනීම් ගණනාවක් ඇති බව ප්‍රකාශ කර තිබෙනවා.

බොහෝ අය ප්‍රහාරයෙන් පසු කටයුතු කළ ආකාරය පිළිබඳව සාක්ෂිය මත අත්අඩංගුවට ගෙන තිබුණු බවත්, ප්‍රහාරයට පෙර එම ප්‍රහාරය සැලසුම් කිරීමට සම්බන්ධ පිරිස් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පෙන්වා දී ඇති බව සඳහන්.

අදාළ කරුණු පවසන අතරවාරයේ හෙළිව ඇත්තේ මහ මොළකරු හඳුනාගෙන තිබෙන බවයි.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතාගෙන් විමසීමක් කළා.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ රවී සෙනවිරත්න මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව තොරතුරු විමසීමේ දී ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි.

රවී සෙනවිරත්න මහතා මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේදී අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය සහ බිමල් රත්නායක, හර්ෂණ නානායක්කාර අමාත්‍යවරුන් එම කමිටුවට සහභාගී සිටි බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk