2026-04-18 22:57:00 Hours
ඉරානය මෙතෙක් අමෙරිකා එක්සත් ජනපදය සමඟ ඊළඟ වටයේ සාකච්ඡා සඳහා එකඟ වී නොමැති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉරාන තස්නිම් පුවත් ඒජන්සිය මෙම තොරතුරු හෙළිකර ඇති බව සඳහන්. ඔවුන් පෙන්වා දෙන්නේ මෙතෙක් මෙම සාකච්ඡා සඳහා ඉරාන බලධාරීන් එකඟතාව පළකර නොමැති බවයි. ඉරානයේ නාවික ගමනාගමන අවහිරතාවන් සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් කර ඇති ප්‍රකාශ මෙන්ම මෑත කාලීන හුවමාරු වූ පණිවිඩවල අමෙරිකාව විසින් සිදුකරන ලද අධික ඉල්ලීම් මීට හේතුවී ඇති බව සඳහන්. ඉරාන මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම ඉල්ලීම් සහ තර්ජන මැද මීළඟ වටයේ සාකච්ඡා සඳහා තවමත් එකඟතාවකට ඉරානය නොපැමිණි බවයි. කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපතිවරයා මීට ප්‍රතිචාර දක්වා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ සටන් විරාම කාලය අවසන් වීමට පෙර ස්ථිර එකඟතාවකට පැමිණීමට ඉරානයට අපොහොසත් වුවහොත් ඔවුන්ට එරෙහිව නැවත ප්‍රහාර දියත් කරන බවයි. අමෙරිකාව සහ ඉරානය අතර දැනට පවතින සටන් විරාමය ලබන සතියෙන් අවසන් වීමට නියමිතයි. එය දීර්ඝ නොකළහොත් නැවත යුදමය තත්ත්වයක් ඇතිවිය හැකි බවද ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබෙනවා. හෝමූස්හී දී ඉන්දීය නෞකා දෙකක් හරවා යවලා ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව විසින් ඉන්දීය නෞකා දෙකක් හෝමූස් සමුද්‍ර සන්ධියෙන් බලහත්කාරයෙන් ආපසු හරවා යවා ඇති බව වාර්තා වනවා. ජාත්‍යන්තර සමුද්‍රීය හදිසි ඇමතුම් නාලිකාවක් වන Channel 16 ඔස්සේ ලැබුණු පටිගත කිරීම් දෙකක් මඟින් මෙම තොරතුරු හෙළි වූ බව නැව් ගමනාගමනය නිරීක්ෂණය කරන 'TankerTrackers' ආයතනය X පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා. මෙම සිදුවීමේ දී වෙඩි තැබීම් ද සිදුව ඇති බව වාර්තා වනවා. ඉන් එක් නෞකාවක් ඉරාන බොරතෙල් බැරල් මිලියන 2ක් රැගත් ඉන්දීය ධජය සහිත අතිවිශාල බොරතෙල් ප්‍රවාහන නෞකාවකි. ඇමෙරිකාව විසින් ඉරාන වරායන්හි අවහිර කිරීමට එරෙහිව හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත ඉරාන සන්නද්ධ හමුදාවල පාලනය යටතට ගෙන ඇති බව විප්ලවීය ආරක්ෂක බලකාය ප්‍රකාශ කර තිබුණා. මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධියේ දී ඉන්දීය ධජය සහිත වෙළෙඳ නෞකා දෙකකට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව ඉන්දියාව ඉරාන රජය වෙත සිය කනස්සල්ල පළකර තිබෙනවා. සිද්ධිය සම්බන්ධව කරුණු විමසීම සඳහා නවදිල්ලියේ සිටින ඉරාන තානාපතිවරයා අද (18) පස්වරුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත කැඳවා තිබුණා. වෙළෙඳ නෞකාවල සහ නාවිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව ඉන්දියාව ප්‍රමුඛතාව දක්වා බව මෙහිදී විදේශ ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා. ඔහු පෙන්වා දී ඇත්තේ ඉන්දියාව බලා පැමිණෙන නෞකාවල ආරක්‍ෂිත ගමනාගමනය සඳහා මීට පෙර ඉරානය සහයෝගය ලබාදුන් බවයි. මෙම තත්ත්වය බරපතල තත්ත්වයක් බවත් මේ සම්බන්ධව ඉන්දීය රජයේ ස්ථාවරය වහාම ඉරාන බලධාරීන්ට දැනුම් දෙන ලෙසත් ඉන්දීය විදේශ ලේකම්වරයා මෙහිදී සඳහන් කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව බලා එන නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දීමේ ක්‍රියාවලිය හැකි ඉක්මනින් යළි ආරම්භ කරන ලෙසයි. එම සාකච්ඡාවෙන් පසුව ඉරාන තානාපතිවරයා මේ සම්බන්ධව එරට රජය දැනුවත් කිරීමට එකඟතාව පළකර තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk