2026-05-30 18:08 Hours

පල්ලේගම හිමිගේ අධිකරණ සංඝනායක ධුරය අත්හිටුවයි


...

අටමස්ථානාධිපති ධූරයේ කටයුතු ආවරණය කිරීම සඳහා උතුරු මැද මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් තාවකාලිකව පත්කර ඇති බව වාර්තා වනවා.

මල්වතු මහා විහාර පාර්ශවයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය හා අටමස්ථානාධිපති ධුරය සම්බන්ධයෙන් මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව විශේෂ තීරණයකට මෙහිදී එළැඹ තිබෙනවා.

වත්මන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති චෝදනා පිළිබඳව සභාවේ අවධානය යොමු කරමින් අදාළ පාර්ශවයන්ගෙන් කරුණු විමසා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

අද (30) පැවති කාරක මහා සංඝ සභා රැස්වීමේදී ගනු ලැබූ තීරණයට අනුව, පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේට එරෙහිව පවතින නඩු කටයුතු සහ අධිකරණ ක්‍රියාදාමයන් අවසන් වී අවසන් තීන්දුවක් ලැබෙන තෙක්, උන්වහන්සේ දරමින් සිටි නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය වහාම බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමට නියම කර තිබෙනවා.

කෙසේ වෙතත්, අටමස්ථානාධිපති ධුරය සම්බන්ධයෙන් ගනු ලැබූ අනෙකුත් තීරණ පිළිබඳව මල්වතු මහා විහාර පාර්ශවය ඉදිරියේදී වැඩිදුර දැනුම්දීමක් සිදුකරනු ඇතැයි වාර්තා වනවා.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය,

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය හා අටමස්ථානාධිපති ධුරය පිළිබඳවයි

වර්තමානයේ දී උක්ත ඨානාන්තර ද්විත්වය දරන පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව අවධානය යොමුකොට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව විසින් අදාළ පාර්ශ්වයන් ද ගෙන්වා මේ සම්බන්ධයෙන් කරුණු විභාග කරන ලදී.

ඒ අනුව 2026.05.30 දිනතිව රැස් වූ මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේ දී පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේ සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාව පිළිබඳව පවතින අධිකරණ කටයුතු අවසන් වී ඒ පිළිබඳව අවසන් තීරණයක් ලැබෙන තෙක්, මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඒ ස්ථවිරයන් වහන්සේ වෙත පත් කර ඇති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට තීරණය කරන ලදී.

එසේම, ගරුතර කාරක මහා සංඝ සභාවේ නියමය පරිදි අටමස්ථාන කමිටුව විසින් තත් කමිටු සාමාජික උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්ථවිර තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බවද මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි මෙයින් නිවේදනය කර සිටිමි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk