2026-05-14 09:36:00 Hours

ගණේමුල්ල සංජීව ඝාතනයට ‘ගම්පහ ඔස්මන්ඩ්’ CCD අත්අඩංගුවට


...

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ගම්පහ ඔස්මන්ඩ් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2025 පෙබරවාරි 19 වන දින කොළඹ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් බන්ධනාගාරය මඟින් ඉදිරිපත් කර සිටි ගණේමුල්ල සංජීව වෙත වෙඩි තබා ඝාතනය කළා.

මේ සම්බන්ධයෙන් දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත ඊයේ (13) රාත්‍රියේ ගම්පහ ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝාතන සැලසුම දියත් කර ඇති අතර අපරාධය සිදු කිරීම සඳහා අවශ්‍ය ගිනිඅවි ලබාදෙමින් මෙම සැකකරු විසින් ඝාතනයට ආධාර අනුබල දී ඇති බව හෙළිව තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත රිපීටර් වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10ක්, පතරොම් ගැබ් 2ක් හමු වූ බව සඳහන් වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 69 හැවිරිදි වියේ පසුවන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk