2026-05-12 22:35 Hours

රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා ජයකොඩිගෙන් ප්‍රසාද් සිරිවර්ධනට එන්තරවාසියක්


...

ප්‍රසිද්ධ රැස්වීමකදී සිදුකළ අපහාසාත්මක ප්‍රකාශයක් සම්බන්ධව රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ඉල්ලා හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා වෙත එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

නීතිඥ සම්පත් යාලේවත්ත මහතා මාර්ගයෙන් මෙම එන්තරවාසිය යොමු කර ඇති බව සඳහන්.

පසුගිය මාර්තු 22 වනදා හෝ ඊට ආසන්න දිනක පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රසාද් සිරිවර්ධන මහතා විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මුල්‍ය අවභාවිත කිරීම් පිළිබඳව චෝදනා කර ඇති බව වාර්තා වනවා.

දශක 3ක අධික විධායක අත්දැකීම් සහිත සුදුසුකම් ලත් ඉංජිනේරුවරයෙකු වන කුමාර ජයකොඩි, සිය වෘත්තීය සහ දේශපාලන ජීවිතය පුරා නිකැළැල් චරිතයක් පවත්වාගෙන ගොස් ඇති බව එම එන්තරවාසියෙන් පෙන්වා දී තිබෙනවා.

තවද ගල් අඟුරු ආනයනයට අදාළ කටයුතු පිළිබඳව පත්කළ විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීන පරීක්ෂණ සඳහා ඉඩ සලසමින් ඔහු මෑතකදී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව එම ලිපියේ සඳහන් කර ඇත.

නීතිඥවරයා පවසන්නේ අදාළ චෝදනා පදනම් විරහිත බවත් ඉන් ජයකොඩිගේ පෞද්ගලික කීර්ති නාමයට මෙන්ම ඔහු නියෝජනය කරන ජාතික ජන බලවේගයේ ප්‍රතිරූපයට හානි කිඉර්මේ චේතනාවෙන් මෙම ප්‍රකාශ සිදුකර ඇති බවයි.

මේ අනුව සිදුවූ අපහාසය වෙනුවෙන් හිටපු අමාත්‍යවරයා රුපියල් මිලියන 500ක වන්දි මුදලක් ප්‍රසාද් සිරිවර්ධන මහතාගෙන් ඉල්ලා තිබෙනවා.

දින 14ක් ඇතුළත එම ගෙවීම් සිදු කරන ලෙසද ප්‍රසාද් සිරිවර්ධන මහතා දන්වා ඇති බවද වාර්තා වනවා.

එම එන්තරවාසිය මඟින් වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ නියමිත කාලය තුළ එම මුදල නොගෙවන්නේ නම් නෛතික පොලිය සහ නඩු ගාස්තුද සහිතව එය අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk