2026-04-26 22:11 Hours

මත්ද්‍රව්‍ය ගෙනා චීවරධාරීන් ගැන මහනාහිමිවරුන්ගෙන් නිවේදනයක්


...

බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා විසින් හෙලා දැක තිබෙනවා.

උන් වහන්සේලා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනය පහතින්,

**බුද්ධ චීවරය අනිසි ලෙස භාවිතා කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදෙමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව තරයේ හෙළා දකිමු.**

උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ශාසනයත් ශ්‍රී ලාංකේය ඵෙතිහාසික භික්ෂු භූමිකාවත් සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිදුකරන ලද ශාසන විරෝධී, සමාජ විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලෙස අපි තරයේ හෙළා දකිමු.

ලංකේය සමාජය තුළ භික්ෂූන් වහන්සේ නමක් වෙත උරුමව ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත් උතුම් වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශ්‍රද්ධාභක්තියත් ද අවභාවිත කරමින් සිදුකරන ලද මෙම නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බව අවධාරණය කරමු.

බුද්ධ චීවරයත් ශාසනික අනන්‍යතාවත් අවභාවිත කරමින් මෙවැනි නීති විරෝධී කටයුතු කරන භික්ෂු ප්‍රතිරූපකයින් පිළිබඳ ඉදිරියේ දී කරුණු විභාග කොට සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව යළිත් ප්‍රකට වන මෙම අවස්ථාවේ දී ඒ සඳහා අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන සම්පාදනය කරලීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් වීම අත්‍යාවශ්‍ය බව ද නැවත නැවතත් මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමු.

ඒ අනුව අදාළ නිකාය පාර්ශවයන් මගින් ඉදිරියේ දී මෙම ශාසන විරෝධී මෙන්ම නීති විරෝධී කටයුත්තට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් කරුණු සොයා බලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බව ද දැනුම් දෙනු කැමැත්තෙමු.

තව ද උපක්‍රමශීලීව මෙන්ම සංවිධානාත්මකව තරුණ භික්ෂූන් වහන්සේලා මෙබඳු නීති විරෝධී කටයුතු සඳහා පොළඹවාගන්නා මත්ද්‍රව්‍ය ජාල හා මත්ද්‍රව්‍ය බෙදාහරින්නන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදු කොට නෛතික ක්‍රියා මාර්ග ගැනීමට ද ආරක්ෂක අංශ හුදුවත්ව කටයුතු කළ යුතු බව මෙහිලා බරපතල ලෙස අවධාරණය කර සිටිමු.

එමෙන්ම සෑම තරුණ භික්ෂුවක් පිළිබඳව ම නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් ශාසන විරෝධී යම් කටයුත්තක නිරත වන බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එවැනි තරුණ භික්ෂූන් ආයති සංවරයෙහි පිහිටුවීමට සෑම ආචාර්යයන් වහන්සේ නමක් ම නිරන්තරයෙන් වගබලා ගත යුතු බව ද අවධාරණයෙන් යුතුව දැනුම් දෙනු කැමැත්තෙමු.

**ඒ වගට මෙසේ ම,**

(අත්සන් සහිතව):

1. **අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ** මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක, මල්වතු මහා විහාරය, මහනුවර.

2. **අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද සිරි රතනපාලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ** අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක, අස්ගිරි මහා විහාරය, මහනුවර.

3. **අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ** ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, ශ්‍රී ධර්මපාල විද්‍යායතන පිරිවෙන, බෙල්ලන්විල.

4. **අතිපූජ්‍ය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ** ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, මිණිඔලුව විද්‍යාවාස මහා පිරිවෙන, මීරිගම.

**දිනය: 2026.04.26**



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk