2026-04-26 11:44:00 Hours

චීවරධාරියෝ 22ක් මත්ද්‍රව්‍ය සමඟ කටුනායකදී අල්ලයි


...

රුපියල් කෝටි 110ක අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ චීවරධාරීන් 22 දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත ඊයේ (25) රාත්‍රී ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකාර චීවරධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මෙහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ පාසල් උපකරණ, විවිධ රසකැවිලි සමඟ ව්‍යාජ පතුල් සකස් කර ඒවා තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සෑම චීවරධාරියෙකුගේම ගමන් මළු තුළ කිලෝ ග්‍රෑම් 05 කට අධික මත්ද්‍රව්‍ය තිබී ඇති බව තොරතුරු වාර්තා වී තිබෙනවා.

අදාළ සැකකාර චීවරධාරීන් අනුග්‍රාහකයෙකු විසින් ලබාදුන් ගුවන් යානා ප්‍රවේශ පත්‍ර මත පසුගිය 22 වනදා මෙරටින් තායිලන්තය බලා ගොස් තිබූ අතර එහිදී ඔවුන් ගිහි වෙස් ගෙන විවිධ ක්‍රියාකාරකම්වල නිරත වී සිටින ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔවුන්ගේ ජංගම දුරකථන තුළ පටිගත වී තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇති බව සඳහන්.

ආරක්ෂක අංශ පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය මෙතෙක් කටුනායක ගුවන්තොටුපොළ ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය මෙය වන බවයි.

ඊට අමතරව චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වන බවද වාර්තා වනවා.

අත්අඩංගුවට පත් වූ සැකකාර චීවරධාරීන් දිවයින පුරා විවිධ ප්‍රදේශවල පදිංචිව සිටින තරුණ චීවරධාරීන් පිරිසක් වන අතර ඔවුන් විවිධ ආයතනවල උසස් අධ්‍යාපනය හදාරමින් සිටින පිරිසක් බවට කරුණු හෙළිව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම සැකකාර චීවරධාරීන් අද (26) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk