2026-06-17 20:33:00 Hours

FCCISL සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අතර විශේෂ හමුවක්


...

ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය (FCCISL) සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අතර ආර්ථික සහයෝගීතාව ශක්තිමත් කිරීම අරමුණු කරගත් විශේෂ හමුවක් කොළඹදී පැවැත්වී තිබෙනවා.

FCCISL සභාපති ආචාර්ය රොහාන් ද සිල්වා මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර පැවති මෙම සාකච්ඡාවේදී දෙරට අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණා.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SMEs) සංවර්ධනය, ඒකාබද්ධ Startup පරිසර පද්ධතියක් ගොඩනැගීම, ඩිජිටල් ආර්ථික සහයෝගීතාව, ආහාර සුරක්ෂිතතාව, කාන්තා හා තරුණ ව්‍යවසායකයන්ගේ සවිබල ගැන්වීම, ආනයන-අපනයන ක්ෂේත්‍රය සහ රුපියල් මගින් ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනු පුළුල් කිරීම ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක SMEs සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ප්‍රවේශය පුළුල් කිරීම සහ දේශසීමා හරහා ව්‍යාපාරික සබඳතා වර්ධනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ Startup පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා උපදේශන, අනුග්‍රහ සහ කලාපීය නවෝත්පාදන ජාල සමඟ සම්බන්ධතා ගොඩනැගීමේ වැදගත්කමද අවධාරණය කර ඇති බව සඳහන්.

ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පෙන්වා දී ඇත්තේ, ඩිජිටල් පරිවර්තනය සහ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ ඉන්දියාව ලබා ඇති ප්‍රගතිය ශ්‍රී ලංකාවටද ප්‍රයෝජනයට ගත හැකි බවයි.

කෘෂිකාර්මික ස්වයංපෝෂිතභාවය සහ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ඉන්දියාව ලබා ඇති අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

මීට අමතරව, විදේශ මුදල් උච්චාවචනයන්ගෙන් ව්‍යාපාරිකයන්ට ඇති බලපෑම අවම කර ගැනීම සඳහා රුපියල් මගින් ද්විපාර්ශ්වික වෙළඳ ගනුදෙනු වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳවද දෙපාර්ශ්වය අවධානය යොමුව ඇත.

මෙම හමුවට FCCISL ජ්‍යෙෂ්ඨ උප සභාපති අබ්බාස් කම්රුදීන් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආර්ථික හා වාණිජ අංශ නියෝජිතයින් ද එක්ව සිටියා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk