2026-06-16 11:04:00 Hours

විමල්, උදය, දිලිත් ඇතුළු 6 දෙනාට එරෙහි CID ඉල්ලීම කොටුවෙන් ප්‍රතික්ෂේප වෙයි


...

හිටපු අමාත්‍ය විමල් විරවංශ, උදය ගම්මන්පිල සහ වර්ථමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වන දිලිත් ජයවීර මහතා ඇතුළු පුද්ගලයින් 6 දෙනෙක් සම්බන්ධව අධිකරණයට අපහාස කිරීමේ බරපතළ චෝදනාව යටතේ විශේෂ අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නිල වශයෙන් ඊයේ (15) දැනුම් දුන්නා.

මේ වන විට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ පිළිබඳව ආරක්ෂක අංශ මඟින් සිදු කෙරෙන පවතින විශේෂ විමර්ශනවලට සෘජුවම බාධා වන අන්දමින් සහ මෙරට ස්වාධීන අධිකරණ පද්ධතියට දැඩි ලෙස අපහාසවන වන අයුරින් විවිධ විද්‍යුත් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට අදාළව මෙම විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.

මේ අනුව වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ අසංක නවරත්න යන දේශපාලනඥයන් විවිධ මාධ්‍ය සාකච්ඡාවලදී සිදුකළ ප්‍රකාශ සම්බන්ධව මෙන්ම සුගීශ්වර බණ්ඩාර සහ මහින්ද පතිරණ යන පුද්ගලයින් එරෙහිව ද මෙම විමර්ශන කටයුතු සිදුකරන බව විමර්ශන නිලධාරීන් විශේෂ වැඩිදුර වාර්තාවක් ඔස්සේ කොටුව අධිකරණයට කරුණු පැහැදිළි කළා.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ එම ඉල්ලීම කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ අදාළ පුද්ගලයන්ට එරෙහිව 2024 අංක 08 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ චෝදනා එල්ල වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ සෘජුවම පැමිණිල්ලක් ගොනු කළ යුතු බවයි.

ඒ අනුව, අදාළ පිරිස මෙම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පෞද්ගලිකව කැඳවීම සඳහා නොතිසි නිකුත් කිරීම නීතිමය වශයෙන් අවශ්‍ය නොවන බවත්, එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවක් මෙම අවස්ථාවේදී නොපවතින බවත් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසුවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk