2026-06-16 20:25 Hours

ඉන්දියාවෙන් යුද්ධ හමුදාවට ඩොලර් මිලියන 5ක උපකරණ පරිත්‍යාගයක්


...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දීය රජය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5ක වටිනාකමින් යුත් ආරක්ෂක හා වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කර තිබෙනවා.

අදාළ උපකරණ තොගය අද (16) අකුරේගොඩ පිහිටි යුද්ධ හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් ආරක්ෂක ලේකම් සම්පත් තුයියාකොන්ත මහතා වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.

එම අවස්ථාවට යුද්ධ හමුදාධිපති ලසන්ත රොද්‍රිගෝ මහතා ද එක්ව සිටියා.

උත්සව සභාව අමතමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා සඳහන් කළේ, මෙම පරිත්‍යාගය දෙරටේ සන්නද්ධ හමුදා අතර පවතින දිගුකාලීන සහ ශක්තිමත් සබඳතාවයේ තවත් ප්‍රතිඵලයක් බවයි.

පුහුණු අවස්ථා සහ මානුෂීය ආධාරවලින් ඔබ්බට ගොස් ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ හමුදා උපකරණ සැපයීම දක්වා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආරක්ෂක සහයෝගීතාව ව්‍යාප්ත වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම, “සාගර් බන්ධු” මෙහෙයුම යටතේ ස්වභාවික ආපදාවලින් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ඉන්දියාව ලබාදුන් මානුෂීය සහයෝගය ද සිහිපත් කළ මහ කොමසාරිස්වරයා, සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම්, වෛද්‍ය ආධාර සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණ කටයුතු ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන් සමඟ සමීප සම්බන්ධීකරණයකින් සිදු කළ බව සඳහන් කළා.

මේ අතර, ආරක්ෂක ලේකම් සම්පත් තුයියාකොන්ත මහතා ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ඉන්දීය රජයට කෘතඥතාව පළ කරමින් කියා සිටියේ, ස්වභාවික ආපදා, ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලීන්, හැකියාවන් සංවර්ධනය සහ ආරක්ෂක සහයෝගීතාව ඇතුළු ක්ෂේත්‍ර රැසකදී ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස අඛණ්ඩ සහයෝගය ලබාදී ඇති බවයි.

මෙම අවස්ථාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk