2026-06-15 09:20:00 Hours

සලේට නීති සහාය සතියට එක දවසයි


...

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට දෛනිකව නීතිඥ සහාය ලබාදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය හට ලිඛිතව දැනුවත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් මේ බව දැනුවත් කර ඇති බව සඳහන්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා මේ බව දැනුවත් කර ඇත්තේ සුරේෂ් සලේ මහතාට සතියේ දින 5 පුරා ඔහුගේ නීතිඥ අසිත සිරිවර්ධන මහතා හමුවීමට අවසර දෙන ලෙස ඉල්ලා මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකටයි.

සලේ මහතා මේ වන විට විමර්ශන කටයුතුවලින් බැහැරව රෝහල්ගතව සිටින බැවින් මෙම අවස්ථාවේදී ඔහුට නීති උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව එම ලිපියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා පෙන්වා දී තිබෙනවා.

ශානි අබේසේකර මහතා සිය ලිපියෙන් සඳහන් කර ඇත්තේ තවද නිරතුරුව නීතිඥවරයා හමුවීම තුළින් සැකකරුට අවශ්‍ය මානසික විවේකය අහිමිවී සෞඛ්‍ය තත්ත්වයට අහිතකර බලපෑම් එල්ල විය හැකි බැවින් අධිකරණ නියෝග මත දැනටමත් සෑම සතියේ දිනකම බදාදා දිනවල පමණක් නීතිඥවරයාට ඔහුව හමුවීමට ඉඩ ලබාදී ඇති බවයි.

මේ අනුව සුරේෂ් සලේ මහතාගේ නීතිඥවරයා වන අසිත සිරිවර්ධන මහතාට සෑම බදාදා දිනකදී පමණක් ඔහුව හමුවීමට ඉඩ ලබාදිය හැකි බවත් පවුලේ සාමාජිකයින් වන බිරිඳ, දියණිය සහ පුතාට දෛනිකව ඔහුව බැලීමට අවස්ථාව සලසා දී ඇති බැවින් නීතිඥවරයාට හමුවීමට අවස්ථාව ලබා දිය නොහැකි බවත් CID අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk