2026-06-15 21:42:00 Hours
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටීමට හිටපු ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ (SLTPB) සභාපති භාෂ්වර ගුණරත්න එකඟ වී ඇති බව වාර්තා වනවා.
2014 වසරේදී ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් මිලියන 7.8ක මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව පසුගියදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු අනාවරණය වුණා.
භාෂ්වර ගුණරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න අධිකරණයට දැනුම් දුන්නේ, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ තම සේවාදායකයා මහේස්ත්‍රාත්වරයා වෙත ප්‍රකාශයක් ලබාදී ඇති බවයි.
ඒ අනුව ඔහු මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇප මත මුදාහරින ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත්තේ මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස බැසිල් රාජපක්ෂ නම් කරන බවයි.
දැනට විදේශගතව සිටින බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.
එමෙන්ම භාෂ්වර ගුණරත්න රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් මිලියන 10 බැගින් වූ පුද්ගල ඇප දෙකක් මත මුදාහැරීමට අධිකරණය නියෝග කළා.
නඩුවේ තුන්වැනි සැකකරු වන ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ රූමි ජවුෆර් ජූනි 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියෝග කෙරුණා.
ඌව පළාත් සභා මැතිවරණය සඳහා ටී-ෂර්ට් මුද්‍රණය කිරීම සහ ඒවා මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් මෙම නඩුව පවරා තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk