2026-07-05 11:45:00 Hours
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 2023, 2024 සහ 2025 යන වසර තුන තුළ නීතිමය කටයුතු සඳහා පමණක් රුපියල් කෝටි 68කට අධික මුදලක් වැය කර ඇති බවට වාර්තා වනවා.
ඒ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් පත් කළ පරිවර්තන කමිටුවේ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ වාර්තාවට අනුව, මෙම මුදල වැය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සහ එම ආයතනයට එරෙහිව පවරා තිබූ නඩු වෙනුවෙන් නීතිඥ ගාස්තු ගෙවීමට මෙන්ම, ඇතැම් නඩුවලදී වන්දි ගෙවීමටයි.
කෙසේ වෙතත්, එම වියදමින් වැඩි කොටසක් වැය කර ඇත්තේ විවිධ පාර්ශ්වයන්ට එරෙහිව නඩු පැවරීම සඳහා නීතිඥ ගාස්තු ගෙවීමට බව ද සඳහන්.
රුපියල් මිලියන 680කට ආසන්න මෙම මුදලින් වැඩි ප්‍රමාණයක් තෝරාගත් නීතිඥයින් පිරිසකට ගෙවා ඇති අතර, ඔවුන් අතර ජනාධිපති නීතිඥයින් කිහිප දෙනෙකු ද සිටින බව වාර්තාවේ දැක්වෙනවා.
එමෙන්ම, ලේක් හවුස්, ටයිම්ස් සහ උපාලි පුවත්පත් ආයතන ඇතුළු මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව මෙන්ම, හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සමාජ ක්‍රියාකාරීන්ට එරෙහිව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නඩු පවරා ඇති බව එම වාර්තාවේ සඳහන්.
මේ අතර, වත්මන් පරිවර්තන කමිටුවේ මැදිහත්වීමෙන් එම නඩු අතරින් නඩු 18ක් සමථයකට පත් කිරීමට හෝ ඉල්ලා අස්කර ගැනීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වනවා.
ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ රොමේෂ් ද සිල්වා, කුවේර ද සොයිසා, චරක ජයරත්න, එම්. ජේ. එස්. ෆොන්සේකා, රොනල්ඩ් සී. පෙරේරා සහ ජීවන්ත ලක්මාල් යන නීතිඥයින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් වැඩි වාර ගණනක් පෙනී සිට ඇති බවයි.
එමෙන්ම, ක්‍රිකට් ආයතනයේ නීති උපදේශක ලෙස කටයුතු කළ අසේල රැකව ද නීතිමය කටයුතු වෙනුවෙන් විශාල මුදලක් ලබාගෙන ඇති බව ද තොරතුරු වාර්තා වනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk