2026-07-05 20:24 Hours
මීගමුව බන්ධනාගාරය තුළ අද (05) දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ බරපතළ ගැටුමක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලීසිය පවසනවා.
පොලීසිය සඳහන් කළේ, මෙම ගැටුම "බූරු මූණා" නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා සමඟ සමීප සබඳතා පවත්වන බවට සැලකෙන මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු වන සුරේෂ් නමැත්තාගේ මෙහෙයවීමෙන් සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
මත්ද්රව්ය ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු පාවාදීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බවද වාර්තා වනවා.
ගැටුමෙන් තුවාල ලැබූ රැඳවියන් 28 දෙනෙකු මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතර බරපතළ තත්ත්වයේ පසුවූ දෙදෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලීසිය සඳහන් කළා.
සිද්ධියෙන් අනතුරුව මීගමුව සහ අවට පොලිස් ස්ථානවල නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඇතුළු ආරක්ෂක අංශ බන්ධනාගාර පරිශ්රයට කැඳවා ආරක්ෂාව තර කර තිබෙනවා.
මීගමුව බන්ධනාගාරයේ කෙටිකාලීන සිරකරුවන් සහ රිමාන්ඩ් සැකකරුවන් ඇතුළු රැඳවියන් 1,800කට ආසන්න පිරිසක් රඳවා සිටින අතර, අද (05) දහවල් ප්රතිවාදී කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම ආරම්භ වී ඇති බව පොලීසිය පවසනවා.
ගැටුම දුරදිග යාමත් සමඟ බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර, ඇතැම් රැඳවියන් විශේෂ ආරක්ෂිත කුටිවල ඉබියතුරු කඩා එහි රඳවා සිටි විශේෂ ආරක්ෂාව යටතේ සිටි රැඳවියන්ටද පහරදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරය තුළ පිහිටි ඔසුසල කඩා එහි තිබූ වේදනා නාශක ඖෂධ අධි මාත්රාවෙන් ලබාගෙන මත්වීමට උත්සාහ කර ඇති බවද පොලීසිය පවසා සිටියා.
මේ අතර, මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් බන්ධනාගාර ගොඩනැගිල්ලේ වහලය මතට නැගී විරෝධතාවක නිරත වූ අතර, ගැටුමට සම්බන්ධ පාර්ශ්වවලට සහාය පළ කිරීමේ අරමුණින් ඔවුන් එම විරෝධතාවයේ නිරත වූ බව පොලීසිය සඳහන් කළා.
එමෙන්ම, බන්ධනාගාරය ඉදිරිපිටට රැස්වූ රැඳවියන්ගේ ඥාතීන් පිරිසක්ද තම ඥාතීන්ගේ තත්ත්වය පිළිබඳ තොරතුරු ලබා නොදෙන බවට චෝදනා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබුණි.
පසුව පොලීසිය මැදිහත්ව රෝහල්ගත කර සිටින රැඳවියන්ගේ සුවදුක් විමසීම සඳහා ඥාතීන් පිරිසකට අවස්ථාව ලබාදී තිබෙනවා.
සිද්ධිය සම්පූර්ණයෙන්ම පාලනය කිරීම සඳහා මේ වන විටත් කැරළි මර්දන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු ආරක්ෂක කණ්ඩායම් බන්ධනාගාරය තුළ සහ අවට ප්රදේශයේ ස්ථානගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk